Monday, November 21, 2016
වික් මැති ඔබ නීති සැරදේවා !!!
මා එකල පාසලේ දීප්තිමත් මෙන්ම ඉතා කීකරු සිසුවෙකු විය. මගේ ඒ දීප්ති කදම්භය කෙතරම් දුරට විහිදීද යත් මා උසස්පෙළ හදාරමින් සිටිද් දී යම් දිනක් මගේ පන්ති භාර ගුරුතුමිය මෙසේ ආදරයෙන් මා ඇමතුවාය. "අනුරාධ, ඔයා ඉස්කෝලේ එන්නේ ඉගෙන ගන්න නෙවෙයිනේ. එත් අනිත් ළමයින්ට ඉගෙන ගන්න ඕන. ඒ නිසා අනිත් ළමයින්ට ඉගෙන ගන්නත් මට මේ රස්සාව කර ගන්නත් ඉඩ දීල ගෙදර නවතින්න" ඉතා කීකරු සිසුවෙකු වූ මා එම අවවාදය ඉත සිතින් පිළිගත් අතර ඉන් පසු මා පාසලට ගියේ අස්වීම් සහතිකය ලබා ගැනීමට පමණි. 1992 දී ක්ෂණිකව බිඳ වැටුණු ඒ මිතුදම් බොහොමයක් නැවත ගොඩ නැගුනේ නැත. 2016 වසරේ දී 93 කණ්ඩායම් සාදයට නොගොස් සිටීමට මට කිසිසේත්ම නොහැකි විය. සුදු ඇඳුමෙන් සැරසී මා නිසා අමාරුවේ වැටීමට නියමිතව සිටි මගේ පාසල් මිතුරන් තට්ටේ පෑදුනු රැවුල් සුදු වුනු වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන්, ව්‍යාපාරිකයින්, නීතිඥයින්, රජයේ නිලධාරීන්, ගුරුවරුන් සහ ඉහල පෙලේ කළමනාකරුවන් වී සිටියහ. වසර 24 කට පසු බොහෝ දෙනෙකුට මාවත් මට බොහෝ දෙනෙකුත් හඳුනා ගැනීමට නොහැකි විය. හඳුනා ගත් මොහොතේ කෙතරම් තදින් වැලද ගත්තේද යත් දින කීපයක් යනතුරු ඇඟ රිදුම් දුන්නේය.
එදින නැවතත් ගෙදර පැමිණෙමින් මම මගේ අතීතය දෙස ක්ෂණික බැල්මක් හෙලුවෙමි. 1990 දී සාමාන්‍ය පෙළ ලිවීමට නියමිතව සිටි මට මාස තුනක පන්ති තහනමක් පැනවුනි. පාසල් නොගියත් මම ඉහලින්ම විභාගය සමත් වීමි. 1992 දී අතර මග දී පාසල් ගමන ට සමුදුන් මා 1996 දී මගේ සමකාලීන මිතුරන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන විටම විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබීමට වාසනා වන්ත වීමි. විශ්වවිද්‍යාලයේ පුර්ණ කාලීන දේශපාලනයේ නිරත වී අවසන් වසරේ දී විෂයන් 11ක් එකවර ලියා අසීරුවෙන් උපාධිය ලබා ගත්තෙමි. කිසිඳු අත පෙවීමකින් තොරව රජයේ බැංකුවක කළමනාකරණ අභ්යාසලාභීයෙක් ලෙස රැකියාව ලැබුණි. ඉහල නිලධාරියෙක් සමග ඇති කරගත් ගැටුමකින් එම බැංකුවට ඉලා අස්වීමේ ලිපිය දුන්නෙමි. පවුද්ගලික බැංකු කීපයකම සේවය කලෙමි. සැමවිටම කලින් සිටි තත්වටය වඩා යහපත් තනතුරු සහ වරප්‍රසාද හිමි විය. ආදරණීය සුන්දර බිරිදක් මෙන්ම වාසනාවන්ත සුරතල් දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වීමි.
මේ ජයග්‍රහණ පිටුපස බොහෝ දෙනෙක් ඇතත් කීප දෙනෙක් තීරනාත්මකය. පළමු වැන්නා මගේ සියලු කඩාකප්පල් ක්‍රියාවන් ඉවසමින් මට මග පෙන්වූ තාත්තාය. දෙවැන්නා කෙදිනක හෝ (කේන්දරයේ සඳහන්ව ඇති පරිදි) මා ජීවිතය ජය ගනු ඇතැයි නිබදව විශ්වාසකළ අම්මාය. තෙවැන්නා රන් අම්මාය. ඇය මගේ මවගේ නැගණියක් වන අතර මා පාසල් අධ්‍යාපනය කඩා කප්පල් කර ගත පසු මා කොළඹ ගෙනවිත් පළමු රැකියාව තෙක් මා මෙහෙය වූ සොඳුරු ආඥයාදායිකාව විය.
අනෙක නම් කර්මය පින සහ පවයි. මගේ ජීවිත කතාවේ සිදුවීම් මාක්ස්වාදී "අහම්බය" යැය් මා දැන් කිසිවිටෙකත් නොසිතන්නේ මේ "අහම්භය" සැමවිටම මෙලෙසින් සිදු වුයේ නම් එය පට්ටම අහම්බයක් වන බැවිනි. එමෙන්ම දෙවියන් ගේ සහ යහපත් බලවේග වල ආශිර්වාදය ද මේ පිටුපස තිබෙන බව විශ්වාස කරමි. මගේ ආදර්ශමත් නොවන ත්‍රාස ජනක ජීවිත අන්දරයේ මේ සංක්ෂිප්තයේ සඳහන් නොවුණු, මරණයේ සෙවනැල්ල අසලට ගොස් හැරුණු සිදුවීම ඇතුළු සිදුවීම් රාශියක් සලකා බලන කල සාමාන්‍ය සම්භාවිතාව අනුව ඒවා අහම්බය ලෙස කිසිසේත් බැහැර කල නොහැක්කේය. එම නිසා පැහැදිලිවම එය පෙර කල පින් වලටත් ආශිර්වාද වලටත් භාර දෙමි.
තවත් දෙයක් අනිවාර්යයෙන්ම තිබේ. ඒ මගේ පාසලයි. පාසලෙන් මා අධ්‍යාපනය හැර අනෙකුත් සියල්ල උකහා ගත්තෙමි. පාසලෙන් පිටතදී දැනුම අවශෝෂණය කරගෙන ජය ලැබුමට මා මෙහෙයවනු ලැබුවේ ඒ පින් බිමට මා පය තැබීමෙන් ලත් පන්නරයි.
" වික් මැති ඔබ නීති සැරදේවා !!!!!!!!!!!!!!! රිච්මන්ඩ් නාමය බැබලේවා!!!!!!!!!!!!!!!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment