Thursday, December 1, 2016

අරාජික කවියන් සහ මජර ජාතිවාදීන්


අශාන් වීරසිංහගේ සොයුරාගේ "ද්‍රෝහීන් ඕනෑ කර තිබේ" කවි පොත තැපැල් කර "මේ ගැන උඹෙන් අදහස් දැක්වීමක් බලා පොරොත්තු වෙනවා" කියා එවූ  කෙටි පණිවුඩයට සෑහෙන කලක් ගතවුවද  ඒ ගැන අදහස් දැක්වීමට නොහැකි විය. කෙසේ නමුත් ඔහුගේ කාව්ය සංග්රහය ගැන බොහෝ ප්රවීණ විචාරකයින් ලේඛකයින් සහ කවියන් විසින් කවි පොත පල කිරීමට පෙරද පසුද  තම අදහස් දක්වා ඇති හෙයින් කවි ගැනත් විචාර ගැනත් මෙලෝ හසරක් නොදන්නා මා ඒ ගැන විග්‍රහ නොකරන්නේ නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහ ගන්නනට අනවශ්‍ය නිසාය. එසේ නමුදු අශාන්ගේ ගේ කවි ඍජු දේශපාලනික ඇහැට ඇගිල්ලෙන් අනින කවි බැවින් කවි ගැන කතා නොකර අශාන්ගේ කවියේ දේශපාලනය ගැන කතා කිරීමට හැකි බව සිතමි.

අශාන් ගේ  පමණක් නොව  මෑතක දී අපේ හිතවත් කපිල ගමගේ කවියාගේ තෙරුයුම් කෝකිලා ගේ ද බොහෝ කවි වලට පාදක වී ඇත්තේ උතුරු නැගෙනහිර යුධමය ඛේදවාචකයයි. කපිල සියුම්ව හදවතට පිහියෙන් අනින විට අශාන් එළිපිටම කඩුවෙන් පහර දෙයි. 

මගේ දැක්ම  අනුව උතුරේ අරගලය අතිශය සාදාරණ අරගලයකි. මා උතුරේ ජීවත්  වුවා නම් එහි කොටස් කරුවෙකු වන්නේ පාසල් වයසේදීමය. මා කලින් සඳහන් කල "නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහ ගන්නන" කතාව මා සඳහන් කලේ අවිඥානික ව නොව සවිඥානිකවය. දෙමළෙට ගිහින් වරිගේ නහ ගන්නට සිදු වන්නේ දෙමළා නොදන්නා නිසාය. සියවස් ගණනක් එකම බිමේ එකටම ජීවත් වන දෙමළා අපි නොහදුනන්නෙමු. ඒ නිසා ඌ පිටස්තරයෙකි. පිටස්තරයා යන්නට ව්‍රවහාරික නැත්නම් කතා කරන සිංහල භාෂාවේ වචනය "පරයා" යන්නයි. ඒ අනුව දෙමළා පරයෙක් වන අතර ඌ පර දෙමළා වේ. සිංහල සමාජය දෙමළා පරයෙකු ලෙස මිස සොයුරෙකු සේ නොදක්කේය. සිංහලයා ලක් මවගේ සුජාත දරුවෙකු වූ අතර දෙමළා ඉන්දියාවේ අවජාතක දරුවෙකු ලෙස දැක්කේය. දෙමළා කිසිවිටෙකත් ලක් මවගේ තවත් එක දරුවෙකු ලෙස නොසිතුවේය. ඒ සිතිවිල්ලම ඔවුන්ගේ අරගලය සාදාරනය කරන්නකි. 

මා කුඩා කල පන්සලට ගිය විට ඉතා ආශාවෙන් වශීකෘතව බලා සිටින එක සිතුවමක් විය. බුදු මැදුරේ ඇතුලත බිත්තියේ පිට පැත්තේ සිත්තම් වූ එය දුටු ගැමුණු රජතුමා විසින් එලාරව පරාජය කරනු ලබන අයුරු පෙන්වයි. කඩොල් ඇතා පිට නැග ගත් ගැමුණු රජ එළාර රජුට හෙල්ල පහර එල්ල කරන අයුරුත් එළාර රජු ලේ පෙරාගෙන වැටෙන අයුරුත් බලා මා බුදු මැදුරෙන් එලියට එන්නේ බුදු හිමිගේ ශාන්ත මුහුණ දෙස බලා සන්සුන්වූ මනසකින් එලියට එන දරුවෙකු ලෙස නොව පර  දෙමළුන් කැති ගසමි යි සිත පුරා වෛරය ක්‍රෝදය සහ ද්වේශය පුරවා ගනිමිනි. අප ගමට අසාන්නයේ ඇති වතුවල ජීවත් වූ අන්ත අසරණ දෙමල මිනිසුන් දිහා පවා මා බැලුවේ ඒ සිතුවිල්ලෙන්මය. 

මේ පරිසරය දෙමල ජාතිකයින්ගේ විමුක්ති අරගලයේ ආරම්භය අතිශයින් සාදාරනීකරණය කල අතර 83 දී සිංහල දේශපාලකයින් හා මැරයින් විසින් අවශ්‍ය  ජවය ලබා දීමට කටයුතු කළේය.  ලංකාවාසී දෙමළුන් පමණක් නොව ලෝක වාසී දෙමලුන්ද එක්තරා හීන මානයකින් පෙළුන අතර දැනුදු පෙලෙන්නේය. ඒ අන් කවරක් වත් නොව කෙතරම් විශාල ලෙස ව්‍යාප්ත වී සිටියද තමාගේ ජාතියට කියා රටක් නොතිබීමයි. සිංහලයින් විසින් ලක්මවගේ පිටස්තරයෙකු නොඑසේනම් පරයෙකු බවට පත් කල ශ්‍රී ලාංකීය දෙමළා තමන්ගේම වෙනම රටක් උදෙසා සටන් කිරීමේ මාවතට තල්ලු කිරීම ඉතා පහසු කරුණක් විය.  අරගලයේ ආශ්වාදය ශ්‍රී ලාංකීය දෙමලුන්ටත්  වඩා තමිල්නාඩුවේ සහ ලෝකයේ විසිරී සිටින දෙමලුන්ට දැනුනු අතර ඔවුන්ගේ ආශිර්වාදයෙන්  එය ජාත්යන්තරකරණය විය.

ශ්‍රී  ලාංකීය දමිල විමුක්ති අරගලයට දහසකුත් එකක් සාදාරන කරුණු තිබුනේ වී නමුදු භාවිතාවේ දී ඔවුන් විසින් විමුක්ති දායකත්වය සුනු විසුනු කර ගත් කෘර තස්ත්‍රවාදී සංවිධානයක් බවට පත්වුයේ තමන්ටත් වඩා අන්ත අසරණ ජනතාවකගේ ලේ රස බලමිනි. සිංහල ගම්මාන වලට පැමිණ බඩ කපා මරා දමන ලද දරුවන්ගේ කුසෙන් එලියට ආවේ අල බතල පමණි. ඒ කුස් බත් ඇටයක් නොදැක  තිබුණි. අතශයින් කෘර වූ ඒ ක්‍රියා මාර්ග කිසිවෙකුටත් සාදාරනි කරණය කල නොහැක්කේය. මා LTTE සංවිධානය තස්ත්‍රවාදී සංවිධානයක් ලෙස දකින අතර ම LTTE සාමාජිකයින් විමුක්තිකාමීන් ලෙස දකින්නේ LTTE සංවිධානය තම ක්‍රියා මාර්ග හමුවේ බිහිසුණු තස්ත්‍ර සංවිධානයක් බවට පත් වීම නිසාත් LTTE සාමාජිකයින් සටන් වැදුනෙත් දිවි පිදුවෙත් ජනතාවගේ විමුක්තියේ නාමයෙනුත් වන බැවිනි. ජනතාවගේ නිදහස උදෙසා සටන් වදින්නන් විමුක්ති කාමීන්ය. 

එමෙන්ම මෙහි අනිත් කෙලවර සිටින හමුදා සාමාජිකයා හුදු කුලීයට මිනී මරන්නෙක් ලෙසද මා නොදකිමි.  ඔවුන් බොහෝ දෙනෙක් හමුදාවන්ට සම්බන්ධ වුයේ දරිද්‍රතාවය නිසා වන්නේ නමුදු දිවි පිදීම දක්වා ඔවූන්ගේ ධෛර්ය වඩවනු ලැබුවේ දේශප්රේමී උත්තෙජකයන් බව පිලි ගැනීමට සියල්ලන්ටම සිදුවේ. LTTE සාමාජිකයා මෙන්ම හමුදා සෙබලා ද එක සේ කුරිරු විය සාහසික විය. දෙදෙනාම මෙහෙයවනු ලැබුවේ එකම චිත්ත ශක්තියක් මගිනි. ඒ දේශප්‍රේමයයි , ජනතාවගේ නිදහසයි. 

අපි නැවතත් සංවේදී කවියන් දෙස හැරෙමු.  තල්  ගස් යට ගිනි සිඹින දුහුවිල්ලට වැටෙන්නටත් පෙර ම වියලෙන  කෝකිලා ගේ කඳුළු අපේ හදවත් වල ට කඩා වදින්නේ මල්ටි බැරල් රොකට් උන්ඩ   මෙන්ය. කවියන් අතිශයින්ම  සංවේදීය සුන්දරය භාවාත්මකය. ඒ භාවාත්මක බව තුල සංවේදී බව තුල යතාර්ථය ගිලී යන්නෙහිද? 

කෘර තස්ත්රවාදී සංවිධානයක් බවට විකාශනය වූ දෙමල විමුක්ති අරගලය එහි දේශපාලන අංශයේ නායිකාව පාපොච්චාරණය කරන ලෙස තනි පුද්ගලයෙකුගේ අභිමතය මත සාමය සහ යුද්ධය තීරණය වුයේය. නැවත යුද්ධය අරබීමේ තීරණයට එකග විය නොහැකි  වූ නිසා අවසන් වරට ඇන්ටම්  බාලසිංහම් මව් බිමෙන් නික්මෙද්දී ඔහුගේ ඇස් කඳුලින් පිරී තිබෙනු දුටු බව ඇය පැවසුවාය. 

කුරිරු යුද්ධය යතාර්ථය බවට පත්විය.  මල්ටි බැරල් උන්ඩ වැදී සමුල ඝාතනය වූ දරුවන්ගේ කෑලි අතින් ගෙන විලාප නගන දෙමල මවු පිය වරුන්ගේ  චායා රූප අන්තර්ජාලයේ මම දකින විට මගේ දෙනෙත් කඳුලින් පිරී යන්නාක් මෙන් ම කැබැතිගොල්ලෑවේ මියගිය දරුවන් වැලද හඬන මව් පියවරු හඬන චායා රූප දකින විටදීද මගේ හදවත කම්පාවේ. LTTE සංවිධානයේ එවන්වූ කෘර ක්රියාවන් ගෙන් ජනතාව ආරක්ෂා කිරීමට කල යුතුව තිබුනේ කුමක්ද ? LTTE නායකත්වය මස් රාත්තලම ඉල්ලන තත්ත්වයක් තුල  කාලකන්නි කුරිරු යුද්ධය යාතාර්ථයක් නෙවුනිද? 

 ජාතීන්ගේ ස්වයන් තීරණ අයිතිය පිළිගෙන දෙමල ජාතියට වෙන්ව යාමට ඉඩ දිය යුතුව තිබුණි යැයි කෙනෙකුට තර්ක කල හැකිය. එහෙත් එය යතාර්තවාදීද?.  උතුර ස්වාධීන රාජ්යයක් ලෙස කොපමණ කලක් පැවතුනේද  නැගෙනහිර කෙතරම් බවුද්ධ සිධස්ඨාන තිබේද යන්න මට මෙහිදී වැදගත් නැත. වැදගත් වන්නේ අතීතය නොව වර්තමානය හා අනාගතය වඩා යහපත් වීම සඳහා තීරණ ගැනීමයි. 

මා මෙහිදී ඉන්දියාවෙන් පකිස්තානය වෙන්ව යාම විශ්ලේෂණය කිරීමට කැමැත්තෙමි. 1947 දී ඉන්දියාවෙන්  කොටසක් පකිස්තානය ලෙස නම් කර වෙනම රටක් ලෙස නම් කල  අවස්ථාවේ දී ඇතිවූ සිවිල් අරගල හේතු කොට මිය ගිය ගණන ගැන නිවැරදි සංඛා ලේඛන නොමැති වුවත්  ලක්ෂ විස්සකට ආසන්න හින්දු සහ මුස්ලිම් ජනතාව කුරිරු ලෙස ඝාතනය වූ බව පැවසේ. එමෙන්ම ලක්ෂ 140 ක් පමණ ජනතාව අවතැන් වුහ.  1947  ට පසු 1965, 1971 සහ 1999 යන වසර වල නැවත නැවතත් දෙපාර්ශවය යුධ වැදී ඇති අතර මේ ලිපිය ලියන මොහොතේ දීද ගිනි කන්ද නැවතත් පුපුරා යන තත්ත්වයක් උත්ගතව පවතී. ඒසා විශාල භූමි ප්රමාණයකින් හා විවිධ ස්වභාවික සම්පත් වලින් අනුන වූ ඉන්දියාවේ කොටසක් වෙනම ස්වාධීන රාජ්යයක් ලෙස නම් කිරීම මෙතරම් ජීවිත සංඛාවක් බිලි ගනිමින් ඉදිරියට යන්නේ නම් ශ්‍රී  ලංකාව අරභයා එවැනි බෙදා වෙන් කිරීමක් කෙසේ බලපෑමක් ඇති කරයිද ?
 ශ්‍රී  ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටි වර්ග කිලෝ මීටර් 65,610 ක් පමණ වන කුඩා දුපතකි. පිහිටීමත් භුමි ප්රමාණයත් සලකා බලන ලද කල්හි මේ කුඩා දුපත තුල රාජ්යයන් 2ක් පැවතීම කිසි ලෙසකින්වත් ප්‍රායෝගික නොවේ. අතීතයේ මේ කුඩා දුපත තුල ස්වාධීන රාජ්යන් දෙකක් නොව බොහෝ ගණනක් තිබුණු බවට කෙනෙකුට තර්ක කල හැකිය. එසේ නම් ඉන්දියාවේ ඊට වඩා බොහෝ වැඩි ගණනක් කුඩා රාජ්යයන් පවතී බව අපි  දන්නෙමු. සනිවේදනය හා ප්‍රවාහනය ප්‍රාථමික තත්ත්වයේ තිබුණු ඒ යුගය හා වර්තමාන යුගය කිසි ලෙසකින් වත් සංසන්දනය කල නොහැක්කේය. ශ්‍රී  ලංකාව නමැති මේ කුඩා දුපත වෙනම රාජ්යයන් දෙකකට කැඩෙන්නේ නම් එය සිදු වන්නේ සුහදව සතුටින් නොවේ. ඒ තුල  ගොඩනැගෙන්නේ එකිනෙකට සතුරු අකිනේකා කෙරෙහි නිරන්තරයෙන් අවිශ්වාශයෙන් යුත් රාජ්යයන් දෙකක් හා ජනතාවන්ය. එවැනි පරිසරයක් තුල  උතුරු නැගෙනහිරෙන් පිටත ජීවත් වන දෙමල ජනතාවගේ ඉරණම කෙසේ වේද? ඉන් පසු උදා වන්නේ මහවැලි ගගේ වතුරට හා දේශසීමාවන් වලට දිනපතා මරා ගන්නා රටවල් දෙකකි. ඉන්දියාව හා ජාත්යන්තරයේ අත පෙවීම මත මේ තත්ත්වය වඩාත් බිහිසුණු වීම නියතය. 

ජාතීන් ගේ ස්වයන් තීරණ අයිතිය ගැන මාක්ස් - ලෙනින්  මතය ගෙඩිය පිටින් ගිලීම නිසා හෝ අතිශය සංවේදී සාදාරන කෝණයකින් බලා දෙමල ජනතාවගේ ස්වයන් තීරණ අයිතියට මා එකග නොවන්නේ ඉහත කී කරුණු විග්‍රහ කොට විශ්ලේෂණය කිරීමෙන් විනා පටු ජාතිවාදී කෝණයකින් කරන විග්‍රහයකින් නොවේ. 

"අප නිදහස ලබා දීමට සටන් කල ජාතිය අපගේ අරගලය  නිසාම අපේ ඇස් ඉදිරිපිටදීම විනාශ විය" යනුවෙන් තමලිනී  කීවේය. යුද්ධය වෙනුවෙන් පෙනී සිටි අය ම්ලේච්චයින් බව මේ දිනවල නිතර ප්‍රකාශ වන අයුරු මම දකිමි.අවසන් මොහොතේ යුද්ධය හැර වෙනත් විසදුමක් තිබුනේද?. උතුරේ සිදුවූ ඝාතනවල තනි වගකීම රජය හා ආරක්ෂක හමුදාවන්ට පමණක් පැවරිය හැකිද?   තිබුනේ නම් ඒ බෙදී වෙන්වීමේ විසදුම තුල අනිවාර්යයෙන්ම ඊට වඩා විශාල ගණනක් ජීවිත විනාශ  නොවන්නේද?

ප්‍රබාකරන්ගේ පවුලේ උදවිය (විෂශයෙන්ම කුඩා දරුවා) මරා දැමීම මා කිසිවිට අනුමත නොකරන නමුත් අපේ මාර්ක්ස්වාදී මිතුරන්ට මතක් කර දිය යුතු එක කරුණක් තිබේ. එනම් 1917 දී ලෙනින් විසින් සාර් රජ පවුලම මරා දැම්මා පමණක් නොව ඔවුන්ගේ බල්ලා පවා මරා දැම්ම බවය. එය සිදු කලේ ලෙනින් නොව ට්‍රොස්කි හෝ ස්ටාලින් බව කියා ලෙනින් බේරා ගැනීමට කෙනෙක් ඉදිරිපත් විය හැකි නමුදු සියල්ල සිදුවුයේ ලෙනින්ගේ නායකත්වය තුල බව අවද්දරණය කරනු කැමැත්තෙමි .

මට අවශ්‍ය  කවියන්ගේ උත්තරීතර මානුෂික හැගීම් හා සංවේදී මනසට යටවන යතාර්ථය ගෙනහැර පාම මිස දෙමල ජනතාවගේ අරගලය අසාදාරන බව කීම නොවන බව නැවත අවදාරණය කරනු කැමැත්තෙමි. ඒ සඳහා දිය යුතු විසදුම බෙදී වෙන්වීම නොවන බව ඉතා පැහැදිලිය. ඒ විසදුම නම් දෙමළා පරයෙකු නොව සොයුරෙකු බව සිංහලයා පිලි ගැනීමයි. දෙමළා ඉන්දියාවේ අවජාතක දරුවෙකු නොව ලක් මවගේ සුජාත දරුවෙකු බව පිලි ගැනීමයි. දෙමළුන්ට මේ රටේ සිදු වූ අසාදාරනය කුමක් දැයි අසන ඕනෑම සිංහලයෙකුගෙන් මා අසන සරල පැනයක් තිබේ. ඒ "ඔබ මේ රටේ ජනාධිපති ලෙස දෙමලෙකු පිලි ගැනීමට සුදානම්ද ?"  යන්නන්යි. සිංහල බහුතරය එසේ පිලි ගැනීමට සුදානම් නොවන තාක් කල් දෙමළුන් වෙනම රටක් සඳහා සටන් කිරීම වැළක්විය නොහැක්කේය. 
ඒ නිසා මා සිතන්නේ සිංහලයේ මහා වීරයා වන දුටුගැමුණු රජතුමන් එළාර රජු මරා දමන චිත්‍රය නොව පන්සල් තුල සිතුවම් කල යුත්තේ මරා දමනු ලැබූ ආක්රමනිකයාටත් ගවුරව කරන දුටු ගැමුණු රජුගේ සිතුවමයි. 

අරාජික කවියන්ගේ ද මජර ජාතිවාදීන්ගේ ද නොවන කෝණයකින් මේ දෙස බලන පුරවැසියන් ඉතා විරල බව මම සක්සුදක් සේ දනිමි

 - ඉන්දික අනුරාධ ගමගේ -





No comments:

Post a Comment