Thursday, September 7, 2017

අලි රට පටවමුද ?

පසුගිය ඉරිදා උදයේ අවදි වුයේ කනගාටුදායක පුවතක් ඇසීමටය. ජානකීගේ ගමේ පියෙකු වන අලි ප්‍රහාරයකින් මිය ගොස් තිබිණි. මීටර් 100 ක් පමණ ඈතින් වූ දරුවෙකුගේ නිවසකට බයිසිකලයකින් ගමන් ගන්නා අතරතුර සවස 7.00 ට පමණ මේ අවාසනාවන්ත සිදුවීම සිදුවී තිබිණ. පවුද්ගලිකව මමද අලි ප්‍රේමියෙක් මි. නිදහසේ සැරිසරනා අලි රංචුවක් දැකීම තරම් සතුටක් තවත් නොමැත්තේය. එහෙත් මේ රටේ ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් අලි කරදර නිසා මරණය අතින් ගෙන ජීවත් වන බව පිළිගතයුතු යතාර්තයකි.
මේ ප්‍රදේශවල ජනතාව රෑට වැසිකිලියට පවා යන්නේ මරණය තුරුළු කරගෙනය. හදිසි ලෙඩෙක් ගැබිණි මාතාවක් රෝහල් ගත කිරීම ඉතා භයන්කර කටයුත්තකි. අලින් විසින් විනාශ කරනු ලබන වගාවන් නියම ආකාරයෙන් ගණනය කළහොත් එය දල දේශීය නිෂ්පාදිතයේ සැලකියයුතු ප්‍රතිශතයක් වනු නොඅනුමානය. සමහර ප්‍රදේශ වල අලි ප්‍රධාන වනාන්තරයකට අයත් නොවන අතර ගම්මාන අසල වූ ලඳු කැලෑවල දහවල ගෙවා දමමින් රෑට ගම්මාන ආක්‍රමණය කිරීම සිරිතක් කොට ගෙන සිටී. ඒ නිසා අලි වැටද ඔවුනට අදාළ නොවේ. ඒ නැතත් අලි වැට මේ වන විට අසාර්ථක උපක්‍රමයක් වී හමාරය.
1993 කල සංගණනයකට අනුව (උතුරු නැගෙනහිර හැර ) ශ්‍රී ලංකාවේ අලි ගහනය 1900ක් පමණ වූ අතර එය මේවන විට 5 800 ට වඩා වර්ධනය වී තිබේ. 1900 දී පමණ එම අගය 10,000 ක් 15,000ක් වන්නට ඇති බව පිලි ගැනෙන අතර එකලට සාපේක්ෂව වන ගහනය හා සසදන කල අලි ගහනයේ වර්ධනය දරා ගැනීමට අසීරු තත්ත්වයක් උදාවී ඇති බව පිලි ගැනීමට සිදුවේ. වන අලි ප්‍රහාර නිසා ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයින් 50 ක් පමණ මිය යන අතර අලි 250ක් පමණ මිය යන බව වාර්තාවේ.
බොහෝ රටවල සත්ව ගහනය පාලනය කරනු ලබන්නේ එම සත්ව ගහනය වැඩි වන විට උන් මරා දැමීමෙනි. අප්‍රිකානු රවවල අලි ගහනය මෙසේ පාලනය කරන අතර ඕස්ට්‍රේලියාවේ සංකේතය වන කැන්ගරුවා පවා දඩයම් කිරීමට එක්තරා කාලයකදී අවසරපත් නිකුත් කරනු ලබයි. ඒ ක්‍රමය ලංකාවට උචිත නොවන අතර එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල හැක්කක්ද නොවේ.
එමනිසා මේ අලි ගහනය පාලනය කිරීමට මම පහත සඳහන් උපක්‍රම දෙක යෝජනා කරමි.
(1) අලි ඇතුන් අපනයනය - පෙර රජ දරුවන්ගේ සමයේ සිට අලි ඇතුන් අපනයනය මෙරටෙහි ප්‍රධාන ආදායම් මාර්ගය ක් වූ නිසා දේශප්‍රේමී ජනතාවටද මේ සඳහා විරෝධය පෑමට අවසථාවක් නොමැත්තේය. අලි මිලදී ගැනීමට අනෙක් රටවල් කැමැත්තක් නොදක්වයි නම් රටවල් අතර හොඳ හිත පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව පරිත්‍යාග කල හැකිය.
(2) පන්සල් සඳහා හීලා අලි බලපත්‍ර ප්‍රදානය කිරීම. - රාජපක්ෂ පාලන යුගයේදී පන්සල් දමනය කිරීම සඳහා උපයෝගී කර ගත්තේ තීරු බදු රහිත වාහන බලපත්‍ර යි. මේ ක්‍රමය නම් අලි කරදරෙන් ජනතාව මුදවන ගමන් පන්සල් කරදරයෙන්ද මිදීමටද රජයට මහත්සේ උපකාරී වනු ඇත. දායකයින් විසින් අලි නඩත්තු කෙරෙනු ඇත.

No comments:

Post a Comment