Wednesday, September 5, 2018

අපිට ඕනේ ආණ්ඩුවක් - නාමල් ගේ ආණ්ඩුවක්

මේ විරෝධතාවය ආණ්ඩුව ගෙදර යැවීම සදහා නම් නොවේ. මේ විරෝධතාවයේ පිටුපස ඇත්තේ නායකත්වය බල අරගලයයේ සේයාවයි. බැසිල් - නාමල් විරසකය එදා සිට පැවති අතර 2005 චන්දයට බැසිල් එන්නේ ඇමරිකාවේ සිටය. ඇමරිකාවේ සිට පැමිණ අරලියගහ මන්දිරයේ ලැගුම් ගන්නා බැසිල් රාජපක්ෂ පවුලට ඉතා තීරණාත්මක මැතිවරණ යුද පිටියක සටන් වදින අතරතුර අරලිය ගහ මැදුරෙන් පිටත්වී කොලබ සුපිරි හෝටලයක නවතින්නට සිදු වන්නේ නාමල් රාජපක්ෂගේ බලපෑම මත ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔවුනට වහාම පිටවන ලෙස අණ කිරීම හේතුවෙනි.

මේ විරසකය කොතෙක් දුර ගියාද කිවහොත් 2015 ජනපතිවරණයේ දී විපක්ෂයේ අහියෝග මැද වුවද නාමල් සහ බැසිල් එකම වේදිකාවකට නොනැග්ගහ.

2015 ජනපතිවරනය පැරදීමත් සමග පැදුරටත් නොකියා රට පනින බැසිල් නැවතත් ලන්කාවට එන්නේ ආරක්ෂාව පිලිබදව වත්මන් නමින් යහපාලන රජය දෙන සහතිකයත් සමගිනි. මහින්දවාදී බහුතරය කෙතරම් අකමැති වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවමින් උපක්‍රමශීලීව යලිත් කරලියට පිවිස බලය ලබා ගන්නා බැසිල් තමන්ට විරුද්ද බහුතර රාජපක්ෂ වාදී පාක්ෂිකයින් තුල පවා "බැසිල් නැතුව දිනන්න බෑ" යන මානසිකත්වය රෝපණය කිරීමට සමත් වේ.

2019 දී නියත වශයෙන්ම ගෙදර යෑමට නියමිත මේ දුර්වල බෙලහීන ආණ්ඩුව ප්‍රතිස්තාපනය කරන්නේ කුමන රාජපක්ෂ වරයා ද යන්න පිළිබද සීතල යුද්ධය කරලියට පිවිසෙන්නේ මෙවන් වකවානුවකය. එහි ඉදිරියෙන්ම ගොටාබය රාජපක්ෂ සිටින අතර මහින්ද රාජපක්ෂ ගේ බලාපොරොත්තුව නාමල් රාජපක්ෂට කල වයස එනතුරු ජනපති පුටුව රත් කරන්නටය. ඒ සඳහා ඇති ඉඩකඩ බැලීමට ඔහු දැනටමත් මුට්ටිය දමා ඇත. ගොටාභය, බැසිල් හෝ චමල් රාජපක්ෂ අතට බලය ගියහොත් යලි තම පවුලට ගැනීමට නොහැකි බව මහින්ද අත් දැකීමෙන්ම දන්නේ තම ලොකු තාත්තා වන D. M. රාජපාක්ෂ ගේ අභාවයෙන් දේශපාලනයට පිවිසෙන D.A. රාජපක්ෂ තම අයියාගේ පවුල දේශපාලන කරාලියෙන් අතු ගා මහින්ද චමල් බැසිල් දේශපාලනයට ප්‍රවිෂ්ට කිරීම නිසාය.

මහින්ද රාජපාක්ශට ව්රවස්තාව තුල ඇති අවම අවසරය නිසා ගොටාභය රාජපක්ෂ හෝ වෙනත් කෙනෙක් ජනපති වුවහොත් ඒ සන්තෑසියම තම පවුලටත් අත් වන බව පොළොවේ පයගසා සිටි දේශපාලකයෙකු වශයෙන් මහින්ද හොදට දනී.

ඒ නිසා කවුරු ජනාධිපති වුවත් නාමල් රාජපක්ෂ ඊලග රජයේ අගමැති හෝ ප්‍රබල තනතුරක සිටවා ඊලග ජනපති අපේක්ෂකත්වයට ඔහුට ඇති භාදක සිදලීම කල යුත්තකි.

2019 දී මේ ආණ්ඩුව ගෙදර යන එක වලක්වන්න මොන ජගතෙකුට වත් නොහැකි වන සේම ජනබල මෙහෙයුම් නොව අගනුවර පැල්  බැදගෙන හිටියත් 2019 වනතුරු මේ ආණ්ඩුව ගෙදර යැවීමටද නොහැකිය.

එසේනම් මේ තකහනියේ කොලබ වටලන්නේ ඇයි ? මේ වෙලාවේ බැසිල් රාජපක්ෂ සිටින්නේ අමරිකාවේය. බැසිල් නැතුව දිනන්න බෑ මානසිකත්වය කඩා සුනු විසුනු කරමින් නාමල් රාජපක්ෂ ඉතා සාර්තක සහ දක්ෂ සංවිධායක වරයෙකු වශයෙන් බෞස්තීම කිරීම මේ වෙලාවේ කල යුත්ත්ක්මය. මේ විරෝධයේ සම්පුර්ණ වගකීම දරන්නේ නාමල් රාජපක්ෂය. ඔහු ආසනෙන් ආසනයට ගමන් කරමින් මේ වි
රෝධතාවය සන්විධානය කරැණු ලැබීය.

මේ විරෝධතාවයෙන් පසු නාමල් රාජපක්ෂ යනු දක්ෂ පරිනත නායකයෙකු බව ඔප්පු වනු ඇත. මේ පෙළපාලියේ ගමන් කරන ජනතාව "අපිට ඕන ආණ්ඩුවක් රට සුරකින ආණ්ඩුවක්" කියනවාට වඩා "අපිට ඕනේ ආණ්ඩුවක් - නාමල් ගේ ආණ්ඩුවක්" කියා කීම වඩා උචිතය.

Friday, April 20, 2018

කිසා ගෝතමී සහ යුද්දයෙන් බට කෑ ජනතාව



පසුගිය නත්තල් සමයේ අපි යාපනයේ සන්චාරයක නිරත වූවෙමු. දීර්ග සති අන්තයක නවාතැන් පොලක් සොයා ගැනීමේ දැඩි අපහසුතාවයට මුහුණ පෑ අපි අදහස් හුවමාරු කර ගැනීමේදී ඊටත් වඩා දැඩි අපහසුතාවයකට මුහුණ පෑවේමු. එහෙත් තමන් දන්නා සිංහල සහ ඉංග්රීසි වචන දෙමල සමග මුසු කරමින් අපට සහය වීමට ඔවුන් ගත් උත්සාහය කිසිවිටෙකත් අමතක නොවේ.  එක ස්ථානයකදී මෝටර් බයිසිකයලක් උඩ සිටි "මහත්මයෙකු" තම අතැති දුරකතනයෙන් ස්ථාන කීපයකට කතාකර නවාතැන් පහසු කම් ඇත්දැයි විපරම් කළේය. මගේ දුරකථනය කාරුණිකව ප්රතික්ෂේප කල ඔහු යම් කිසි ස්ථානයකට යාමට අවශ් මාර්ග විස්තරය අප විසින් වටහා නොගත් බව වටහා ගෙන ඔහුගේ මෝටර් බයිසිකලයෙන් කිලෝ මීටර් කීපයක් මග ගෙවා දමින් මග පෙන්වීමට කාරුණික විය.
කෙසේ නමුදු අපට ඉතා කුඩා හෝ නවාතැනක් සොයා ගැනීමට හැකි වුයේ යාපන නගරයෙන් සෑහෙන දුරකට පේදුරු තුඩුව දක්වා ගමන් කිරීමෙන් අනතුරුවය. තවත් හොරා කීපයකට පසුව අපමෙන් අනාත කණ්ඩායමක් එහි පැමිණි  අතර මගේ "දකුණේ" සම්භවය ඔහුනට මහත් ප්රීතියක් විය. එහි පැමිණි රථයේ රියදුරු සිටියේ අසුරයින් පර සක්වල ගසා අසුර භවනේ සක් දෙවිඳුගේ රථය පද යන මාතලී මෙන් ප්රීතියෙන් මාන්නයෙන් ආද්ය්යවය. එහෙත් ඔහුගේ වෛරයට පාත් වී තිබුනේ තවමත් මේ "පර දෙමලුන්ගේ" ආඩම්බර කමේ අඩුවක් වී නොතිබීමයි.  ඔහු ගේ වෑන් රථයේ තිබු කාර්මික දෝෂයක් නිවැරදි කර ගැනීමට ගරාජ් එකකට ගොස් එහි සිටි අයෙගෙන් "තවමත් මෙහෙ LTTE කාරයෝ" ඉන්නවාදැයි විමසු විට ඔහුට ලැබී තිබුණු රළු පිළිතුර වුයේ " ගැන කතා කරන්න එපා. මේ පැත්තේ යුද්දයෙන් මැරුණු නැති කෙනෙක් ඉන්න ගෙයක් හොයන එක අර අබ හෙව්වා වගේ" යනුවෙනි. ඔවුන් කතාව දැන හෝ නොදැන උපමා කොට ඇත්තේ කිසා ගෝතමියගේ නොමල ගෙයකින් අබ සෙවූ කතාවයි. 
LTTE යනු ඕපපාතිකව මහා පොලවේ පහල වූ සංවිධානයක් නොවේ. එතෙක් මෙතෙක් සිංහල දෙමල බල ලෝභී දේශපාලකයින් ගේ තිරිසන් ජාතිවාදී නොමිනිසුන් ගේ ක්රියාවලියක අග් පලයයි. පසුගිය  සති අන්තයක ලංකාදීප පුවත්පතේ පලවූ "ශ්රී මහා බෝධිය ලග වෙඩි තිබ්බේ රාසයියාගේ පුතයි වල්ලි පුරම් ගේ පුතයි" යන තේමාව යටතේ පළවූ ලිපියේ ශ්රී මහා බෝධිය අභියස සිදුවූ දැවැන්ත සංහාරය ඇසින් දුටු වසර 60 ක් ශ්රී මහා බෝධිය ලග දිවි ගෙවන ගුණපාල මහතාගේ අත් දැකීම දිග හරින්නේ මෙලෙසෙනි. "1957 අවුරුද්දෙ ඉඳන් මම මේ අනුරාධපුරේ සිංහල - දෙමළ ගැටුම් දැක්කා. හර්තාල් දැක්කා. අවුරුදු පහෙන් පහට වගේ දෙමළ මිනිස්සුන්ට විරුද්ධව මොකක් හෝ කැරැල්ලක් රටේ ආවා. එහෙම වෙච්ච ගමන් අපේ සමහර චණ්ඩි කීප දෙනෙක් (හැමෝම නොවෙයි) දෙමළ අයට ගහනවා. ගහන්නෙ ඇයි? දෙමළ මිනිහගෙ දේ කොල්ල කන්න. සල්ලි ටික උදුරගන්න. කඬේ බිඳින්න. ගෑණු ළමයි දූෂණය කරන්න. ඔය චණ්ඩි ජීවත් වුණේ රටේ මේවගේ ප්රශ්නයක් ආවම, බොර දියේ මාළු බානවා වගේ දෙමළ මිනිහගෙ දේ මංකොල්ල කාලා.
සිත්තප්පලම් දෙමළ හෝල් එක ගිනි තිබ්බා. රාස අයියලට, වල්ලිපුරම්ලට හුඟක් කරදර වුණා. අනුරාධපුරේ ඔය වැඩ කළේ ඇල්බට්, විල්බට්, රොබට් වගේ චණ්ඩි කීප දෙනෙක්. සමග එයාලගෙ කණ්ඩායමක්.
සමහර දෙමළ ගෑණු ළමයි හිතක් පපුවක් නැතුව දූෂණය කළා. වගේම ජාතිවාදය අස්සෙ ජහ ජරා වැඩ කරපු ඇල්බට්, රොබට්, විල්බට් වගේ චණ්ඩි කොටසක්. මිනිස්සු එහෙම නොකළා නම් රාස අයියගෙ පුතාලා, වල්ලිපුරම්ගෙ පුතාලා මේ ශ්රී මහා බෝධියට ගහන්න එන්නෙ නෑ. එයාලා දැකපු, දන්න තැනට, වගේම තමන්ගෙ අයට වදදීපු අය හොයාගෙන ඇවිත් සේරටම ගැහුවා. ඒකයි වුණේ.
මේ සිංහල දේශප්රේමීන් ගේ ජාත්යාලය මමද අත් දැක ඇත්තෙමි. මගේ ගමට යාබදව ඇති වතු යායේ දෙමලකම්කරුවන්  නිසාවෙනි. අද උවද ඔවුන් ගෙවන්නේ ඉතා දුක්ඛිත ජීවිතයකි. එහෙත් අවස්ථා කීපයකදීම අවට ගම්වල නොමිනිසුන් ජාත්යාලයට මුවාවී මේ අහිංසකයින් තලා පෙලා ඔවුන් සතු පිත්තල සෙම්බු පහන්, කුකුලන් එළුවන් ආදිය කොල්ල කෑ හැටි එවකට කුඩා දරුවෙකුව සිටි මට අදටත් මතකය. එක අවස්තාවකදී පොන්නය්යා නම් වූ අහිංසක මිනිසෙකු ගල් කටස් තුවක්කුවකින් වෙඩි තබා මරා දමන ලදී. මරා දමා  තිබුනේ කොල්ලකෑමට පැමිණි අය ඔහු විසින් හඳුනා ගැනීමයි. දහවලදී එක බුලත්විට දෙකට කඩා කා එකම තේ හෝ රබර් ඉඩමක දෙමළුන් සමග ශ්‍රමය අලෙවිකළ කළ සිංහලුන් රාත්‍රියට ජාති ආලය පෑවේ එලෙසිනි.
වාසනාවකට වතු කම්කරු දෙමල ජනතාව පලි ගැනීමට අත වූ උදැල්ල හෝ වක් පිහිය නො එසවූ නමුත් රාස අයියලා ගේ  වල්ලිපුරම්ලා ගේ දරුවන් එසේ තිරිසනුන් ලෙස තාඩන පීඩන වලට ලක් වීම තම දෛවය ලෙස බාර  නොගත්හ.
ජාතිවාදී යුද්ධය ඇවිල ගියේ එලෙසිනි. ඔවුන් ප්‍රබාකරන්ගේ ගොදුරු බවට පත්වී වැලිකන්දේ, කෝකිලායි, කබතිගොල්ලාවේ පමණක් නොව අගනුවර පවා  ජීවත් වූ ඔවුන් වැනි ම වූ අහිංසක සිංහල කිරි කැටියා ගේ පවා ලේ රස බලන තත්ත්වයට පත්විය.
මේ සමගම තවත් අත්දැකීමක් මගේ මතකයට නැගෙයි. 1987 දී මම 8 වසරේ ඉගෙන ගන්නා සිසුවෙක් වූ අතර එවකට හමුදාවේ හිටිය දෙවන ලුතිනල් අයියා කෙනෙක් මම දැන සිටියෙමි. දිනක් ඔවුන්ගේ සොල්දාදුවන් ගමන් කල  ජීප් රථයකට  LTTE එක බෝම්බයක් තබා විශාල සෙබළු සංඛ්‍යාවක් මරා දමා තිබුණි. ඉන් පසුව ගම් වැදුණු සෙබළුන්   ගමේ දෙමල තරුණයින් තුන් දෙනෙක් අල්ලාගෙන ඇවිත් ඔවුන්ට වෙඩි තබා මරා  පුළුස්සා දමුවෙලු . එක තරුණයෙක් ගේ  ගේ තාත්තා කෙනෙක් ඇවිත් ඒ අයියගේ කකුල් දෙක අල්ලලා වැදලා කිව්වලු දරුවාව දෙන්න කියලා. අය්යා කිව්වා "ඌ අහිංසකයෙක් මම ඌට රුපියල් සීයක් දුන්නා" කියලා. අදටත් ඒ කතාව මතක් වෙනකොට මගේ හිත කීරි ගැහෙනවා. ඒ කතාවේ මැරුණු කොල්ලා මම වෙලා මගේ තාත්තා අර අහිංසක මනුස්සයා වෙලා අඩා වැටෙන හැටි මැවිලා පේනවා. ඊට අවුරුදු 2කට  පස්සේ ඒ වගේ කතා දහස් ගානක් දකුණේත් ලියවුනා. ඒ කාලෙදී හමුදාවෙන් ආරක්ශා වෙන්න මමත් මගේ තාත්තත් එක්ක තේ ගස් යට නිදා ගෙන තියෙනවා. සිංහල හමුදාව සිංහල සමාජයේදී හැසුරුණු ආකාරය ගැන අවබෝධයක් තියෙන කාට වුනත් සිංහල හමුදාව දෙමල සමාජයේදී කොහොම හැසිරෙන්න ඇති ද කියලා අවබෝධයක් ලබා ගන්න පුළුවන්.
මෑතක් වෙනතුරුම ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු ගේ ජාතික  හැදුනුම් පතේ පවා නම සදහන් වුනේ සිංහල භාෂාවෙන් පමණයි. යාපනෙන් පැමිණි මගේ විශ්වවිද්‍යාල මිතුරෙකුගේ නම " ජෙරාඩ්" එත් ජාතික හැදුනුම් පතේ නම සදහන් වුනේ " ජෙරාට්"යනුවෙන් අඩුම තරමින් තමන් ගේ නම  ජාතික හැදුනුම් පතේ සදහන් වී ඇති ආකාරය වැරදියි කියලවත් ඔහු දැනගෙන හිටියේ නැහැ. මේ ආකාරයට හැම අතින්ම තමුන්ව පීඩනයට ලක්වන බව පමණයි ඔවුන් අවබෝධ කර ගෙන තිබුනේ.
යුද්ධය දශක තුනක් ඇදෙන කොට උතුරේ අලුත් පරපුර සිංහලයින් කියන්න දැනගෙන හිටියේ හමුදා භටයින් පමණයි. දශක තුනක් උඩින් බෝම්බ දාන කොට ෂෙල් වෙඩි ගහන කොට මෝටාර් කාලතුවක්කු ගහන කොට ඒවා වැදුනේ තස්ත්රවාදීන්ට විතරක් නෙවෙයි. මේ පීඩාවෙන් දෙමල ජනතාව මුදවා ගන්න සිටින එකම විමුක්ති දායකයා ප්‍රබාකරන් විතරයි කියලා දෙමල ජනතාව ට  දැනුනා. LTTE වටා මිනිසුන් රොක් වුනා. දකුණේ උනත් බහුතර දෙමල ජනතාව LTTE කියන්නේ විමුක්ති සංවිධානයක් කියලයි  හිතුවේ.
 කාලයක් යනවිට සිංහල සමාජයේ ජාතිවාදී කොටස් වල විරෝධය මැද වුනත් ගවුරවාන්විත සාකච්චා මාර්ගයකින් මේ ප්‍රශ්න විසදා ගන්න  සමහර සිංහල දේශපාලකයින්ටත් සමාජයේ යම් කොටස් වලටත් අවංක වුවමනාවක් තිබුනා. එත් LTTE සංවිධානය ඒ වනවිට යුද්ධය හැර වෙනත් කිසිම විකල්පයකට සුදානම් වී සිටියේ නැහැ. ඒ නිසා කෙතරම් කුරිරු වුවත් යුද්ධය යතාර්ථයක් බවට පත්වුනා. යුද්ධයේ දී සටන් වැදුන සහ මිය ගිය හමුදා සෙබළුන් කුලී හමුදා කාරයෝ කියලා මම කිසි විටකත් සිතන්නේ නැහැ. කීප දෙනෙක් ඇති වැරදි අඩුපාඩු සිද්ද වුනත් ඔවුන් විශාල කැප කිරීමක්  කළා. ඔවුන්ට අත්විය යුතු ගවුරවය පුද දෙන්න්නට ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප කිසි විටෙකත් පසු බට විය යුතු නැහැ.
යුද්ධය ඇතුලේ පවතින්නේ වේදනාව පමණමයි.
මේ වන විට සමාජය ඇතුලේ කතිකාවතක් ගොඩ නැගී තිබෙනවා තියෙනවා යුධ ජයග්‍රහණය සැමරීම පිළිබඳව. යුධ ජයග්‍රහන සැමරිය යුතුයි කියන අයගේ මතය වන්නේ ශ්‍රී ලංකා හමුදා සටන් කලේ තස්ත්රවාදීනට එරෙහිව මිස දෙමල ජනයාට එරෙහිව නොවන බවයි. ඒ නිසා යුධ ජයග්‍රහණ සැමරීමේදී සාමාන්‍ය දෙමල ජනතාවට ප්‍රශ්නයක් නොමැති බවයි ඔවුනගේ තර්කය. එහෙත් මෙහෙදී මා හට පෙන්වා දීමට අවශ්‍ය වුයේ LTTE සංවිධානය යනු ඕපපාතිකව බිහි වූ සංවිධානයක් නොවන බවත් එය උතරේත් දකුණේත් සාමාන්‍ය දෙමල ජනතාවගෙන් වියුක්ත වූ සංවිධානයක් නොවන බවත්ය.
මා මුලින් සදහන් කල අබ සෙවූ කතාව මෙන් ම සත්‍ය තත්වය නම් උතුරේ යුද්ධයෙන් කිසුවෙකු නොමල ගෙයක් සොයා ගැනීම උගට බවයි. එසේ නම් දකුණේ අප සමරන්නේ තම පුතා දුව සැමියා බිරිඳ ඥාතියා මරා දැමු සතුටට බව දැනෙන එසේ සිතන පුරවැසියන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේම ජනතාවක් ලෙස ජීවත් වන කල එසේ කිරීමට සියලු ජනයා නියෝජනය කරන රජයකට සදාචාරාත්මක අයිතියක් තිබේද?. සිංහල සමාජයේ පීඩනය නිසාම අවි ගත් අපේම ජනතාවක් ඝාතනය කර ජය පැන් බී  වසරක් පාසා එය සැමරීම සැබෑ සිංහලයකුට  උචිතද?
1971 දීත් 88-89 වකවානුව තුලත් දකුණේ ද රජයට එරෙහිව අවි ගත කැරලි පැවතිය අතර එයද " තස්ත්රවාදයක්"ලෙස නිර්වචනය කල  හැකිය. එම අවස්ථා දෙකෙහිදීම සාර්ථක ලෙස කැරලි කරුවන් ඝාතනය කරමින් සහ සිර ගත කරමින් එම උත්සාහයන් පරාජය කල රජයන් වසරක් පාසා එය සැමරීමට ලක් කලේ නම් දකුණේ සමජය එය දරා ගනී ද?
සබවින් ම මා මෙහිදී සැමදා පුර්වාදර්ශය ට ගන්නේ සිංහලයේ මහා වීරයා වන දුටු ගැමුණු මහා රජ තුමයි. ඔහු එළාර ගේ ඝාතනය මහා වීරක්ර්යාවක් යයි සමරුවේ නැත. තම පරම සතුරා වෙනුවෙන් ස්මාරකයක් ඉදි කිරීමට ඔහුට ධෛර්ය තිබුනා පමණක් නොව මතු රජවන ඕනෑම අයෙකු වුවද ඒ ස්මාරකය ලගින් ගමන් කිරීමේ දී රථ වලින් බැසිය යුතු බවට නියෝගයක් ද  පැනවීය.
 සිංහල සමාජය තම මහා වීරයාගෙන් ආදර්ශ ගැනීමට සුදානමක් නොමැති ද? දශක තුනක් පුරා පවතී මේ කුරිරු යුද්ධයෙන් සිංහල දෙමල මුස්ලිම් බේදයකින් තොරව අපි ජාතියක් වශයෙන් ඇති තරම් පීඩා  වින්දෙමු. සිංහලයින්ගේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ කරා ද දළඳා මැදුර  කරාද  උතුරේ සෑම දමලෙකු ගේ ම හිස මත බෝම්බ වැටෙන තෙක් ද මුස්ලිම් වුන්ගේ කාන්තක්කුඩි පල්ලිය කරාද යුද්ධය ආදී  ආවේය. අවම වශයෙන් යුද්ධය නිසා සිත් වේදනාවෙන් හෝ බේරීමට සමත් කිසිවෙක්  නොසිටියේය. අතීතයෙන් පාඩම් උගත් අප සිදු කල යුත්තේ නැවත කිසි දිනෙක මෙවන් ව්‍යසනයක් ඇති වීමට   ඉඩ නොතැබීම නොවේද? මා ලිපිය මුලදී  සදහන් කල නවාතැන් පොළ සෙවීමේදී යාපනයේ ජනතාව අප වෙත පෑ සුහදතාවය ඔවුන් සිංහල සමාජය සමග වෛරයකින් පසු නොවන බව තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය.
මෙහිදී  දිවිපිදු සහ අබාධ වලට ලක්වූ රණවිරුවන් අමතක නොකළ යුතු මම ද පිලි ගනිමි. යුද්ධය දශක තුනක් පුරා රණවිරුවන් පමණක් නොව යුද්ධයට සම්බන්ධ සහ සම්බන්ධ නොමැති ලක් මවගේ දු දරුවන් විශාල පිරිසක් බිලි ගත්තේය. එබැවින් ඉදිරියේදී එවැනි දෑ සිදුවීමට ඇති සියලුම මන් අහුරමින්  මැයි 18 වැනි දින ශ්‍රී ලාංකීය සාම දිනය බවට පත් කර මිය ගිය සියලුම ජනතාව සිහි කරන ඔවුනට ගවුරව කරන දිනයක් කල යුතු බව මගේ හැගීමයි.
මේ වෙසක් සමයේ බුදු වදනකින් ලිපිය අවසන් කිරීමට සිතමි.
ජයං වේරං පසවති - දුක්ඛං සේති පරාජිතෝ
උපසංතෝ සුඛං සේති - හිත්වා ජය පරාජයං
ජයග‍්‍රහණය වෛරය උපදවයි. එය දුකින් තැවෙන පරාජිතයෙකු ඉතිරි කරයි. ජය පරාජය යන තත්වයන් දෙකම අත්හරින්නා සුවසේ සිටියි.
(ධම්මපද , සුඛ වග්ග - 5)
ඉන්දික අනුරාධ ගමගේ 18.05.2016

Thursday, September 7, 2017

අලි රට පටවමුද ?

පසුගිය ඉරිදා උදයේ අවදි වුයේ කනගාටුදායක පුවතක් ඇසීමටය. ජානකීගේ ගමේ පියෙකු වන අලි ප්‍රහාරයකින් මිය ගොස් තිබිණි. මීටර් 100 ක් පමණ ඈතින් වූ දරුවෙකුගේ නිවසකට බයිසිකලයකින් ගමන් ගන්නා අතරතුර සවස 7.00 ට පමණ මේ අවාසනාවන්ත සිදුවීම සිදුවී තිබිණ. පවුද්ගලිකව මමද අලි ප්‍රේමියෙක් මි. නිදහසේ සැරිසරනා අලි රංචුවක් දැකීම තරම් සතුටක් තවත් නොමැත්තේය. එහෙත් මේ රටේ ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් අලි කරදර නිසා මරණය අතින් ගෙන ජීවත් වන බව පිළිගතයුතු යතාර්තයකි.
මේ ප්‍රදේශවල ජනතාව රෑට වැසිකිලියට පවා යන්නේ මරණය තුරුළු කරගෙනය. හදිසි ලෙඩෙක් ගැබිණි මාතාවක් රෝහල් ගත කිරීම ඉතා භයන්කර කටයුත්තකි. අලින් විසින් විනාශ කරනු ලබන වගාවන් නියම ආකාරයෙන් ගණනය කළහොත් එය දල දේශීය නිෂ්පාදිතයේ සැලකියයුතු ප්‍රතිශතයක් වනු නොඅනුමානය. සමහර ප්‍රදේශ වල අලි ප්‍රධාන වනාන්තරයකට අයත් නොවන අතර ගම්මාන අසල වූ ලඳු කැලෑවල දහවල ගෙවා දමමින් රෑට ගම්මාන ආක්‍රමණය කිරීම සිරිතක් කොට ගෙන සිටී. ඒ නිසා අලි වැටද ඔවුනට අදාළ නොවේ. ඒ නැතත් අලි වැට මේ වන විට අසාර්ථක උපක්‍රමයක් වී හමාරය.
1993 කල සංගණනයකට අනුව (උතුරු නැගෙනහිර හැර ) ශ්‍රී ලංකාවේ අලි ගහනය 1900ක් පමණ වූ අතර එය මේවන විට 5 800 ට වඩා වර්ධනය වී තිබේ. 1900 දී පමණ එම අගය 10,000 ක් 15,000ක් වන්නට ඇති බව පිලි ගැනෙන අතර එකලට සාපේක්ෂව වන ගහනය හා සසදන කල අලි ගහනයේ වර්ධනය දරා ගැනීමට අසීරු තත්ත්වයක් උදාවී ඇති බව පිලි ගැනීමට සිදුවේ. වන අලි ප්‍රහාර නිසා ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයින් 50 ක් පමණ මිය යන අතර අලි 250ක් පමණ මිය යන බව වාර්තාවේ.
බොහෝ රටවල සත්ව ගහනය පාලනය කරනු ලබන්නේ එම සත්ව ගහනය වැඩි වන විට උන් මරා දැමීමෙනි. අප්‍රිකානු රවවල අලි ගහනය මෙසේ පාලනය කරන අතර ඕස්ට්‍රේලියාවේ සංකේතය වන කැන්ගරුවා පවා දඩයම් කිරීමට එක්තරා කාලයකදී අවසරපත් නිකුත් කරනු ලබයි. ඒ ක්‍රමය ලංකාවට උචිත නොවන අතර එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල හැක්කක්ද නොවේ.
එමනිසා මේ අලි ගහනය පාලනය කිරීමට මම පහත සඳහන් උපක්‍රම දෙක යෝජනා කරමි.
(1) අලි ඇතුන් අපනයනය - පෙර රජ දරුවන්ගේ සමයේ සිට අලි ඇතුන් අපනයනය මෙරටෙහි ප්‍රධාන ආදායම් මාර්ගය ක් වූ නිසා දේශප්‍රේමී ජනතාවටද මේ සඳහා විරෝධය පෑමට අවසථාවක් නොමැත්තේය. අලි මිලදී ගැනීමට අනෙක් රටවල් කැමැත්තක් නොදක්වයි නම් රටවල් අතර හොඳ හිත පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව පරිත්‍යාග කල හැකිය.
(2) පන්සල් සඳහා හීලා අලි බලපත්‍ර ප්‍රදානය කිරීම. - රාජපක්ෂ පාලන යුගයේදී පන්සල් දමනය කිරීම සඳහා උපයෝගී කර ගත්තේ තීරු බදු රහිත වාහන බලපත්‍ර යි. මේ ක්‍රමය නම් අලි කරදරෙන් ජනතාව මුදවන ගමන් පන්සල් කරදරයෙන්ද මිදීමටද රජයට මහත්සේ උපකාරී වනු ඇත. දායකයින් විසින් අලි නඩත්තු කෙරෙනු ඇත.

Thursday, December 1, 2016

අරාජික කවියන් සහ මජර ජාතිවාදීන්


අශාන් වීරසිංහගේ සොයුරාගේ "ද්‍රෝහීන් ඕනෑ කර තිබේ" කවි පොත තැපැල් කර "මේ ගැන උඹෙන් අදහස් දැක්වීමක් බලා පොරොත්තු වෙනවා" කියා එවූ  කෙටි පණිවුඩයට සෑහෙන කලක් ගතවුවද  ඒ ගැන අදහස් දැක්වීමට නොහැකි විය. කෙසේ නමුත් ඔහුගේ කාව්ය සංග්රහය ගැන බොහෝ ප්රවීණ විචාරකයින් ලේඛකයින් සහ කවියන් විසින් කවි පොත පල කිරීමට පෙරද පසුද  තම අදහස් දක්වා ඇති හෙයින් කවි ගැනත් විචාර ගැනත් මෙලෝ හසරක් නොදන්නා මා ඒ ගැන විග්‍රහ නොකරන්නේ නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහ ගන්නනට අනවශ්‍ය නිසාය. එසේ නමුදු අශාන්ගේ ගේ කවි ඍජු දේශපාලනික ඇහැට ඇගිල්ලෙන් අනින කවි බැවින් කවි ගැන කතා නොකර අශාන්ගේ කවියේ දේශපාලනය ගැන කතා කිරීමට හැකි බව සිතමි.

අශාන් ගේ  පමණක් නොව  මෑතක දී අපේ හිතවත් කපිල ගමගේ කවියාගේ තෙරුයුම් කෝකිලා ගේ ද බොහෝ කවි වලට පාදක වී ඇත්තේ උතුරු නැගෙනහිර යුධමය ඛේදවාචකයයි. කපිල සියුම්ව හදවතට පිහියෙන් අනින විට අශාන් එළිපිටම කඩුවෙන් පහර දෙයි. 

මගේ දැක්ම  අනුව උතුරේ අරගලය අතිශය සාදාරණ අරගලයකි. මා උතුරේ ජීවත්  වුවා නම් එහි කොටස් කරුවෙකු වන්නේ පාසල් වයසේදීමය. මා කලින් සඳහන් කල "නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහ ගන්නන" කතාව මා සඳහන් කලේ අවිඥානික ව නොව සවිඥානිකවය. දෙමළෙට ගිහින් වරිගේ නහ ගන්නට සිදු වන්නේ දෙමළා නොදන්නා නිසාය. සියවස් ගණනක් එකම බිමේ එකටම ජීවත් වන දෙමළා අපි නොහදුනන්නෙමු. ඒ නිසා ඌ පිටස්තරයෙකි. පිටස්තරයා යන්නට ව්‍රවහාරික නැත්නම් කතා කරන සිංහල භාෂාවේ වචනය "පරයා" යන්නයි. ඒ අනුව දෙමළා පරයෙක් වන අතර ඌ පර දෙමළා වේ. සිංහල සමාජය දෙමළා පරයෙකු ලෙස මිස සොයුරෙකු සේ නොදක්කේය. සිංහලයා ලක් මවගේ සුජාත දරුවෙකු වූ අතර දෙමළා ඉන්දියාවේ අවජාතක දරුවෙකු ලෙස දැක්කේය. දෙමළා කිසිවිටෙකත් ලක් මවගේ තවත් එක දරුවෙකු ලෙස නොසිතුවේය. ඒ සිතිවිල්ලම ඔවුන්ගේ අරගලය සාදාරනය කරන්නකි. 

මා කුඩා කල පන්සලට ගිය විට ඉතා ආශාවෙන් වශීකෘතව බලා සිටින එක සිතුවමක් විය. බුදු මැදුරේ ඇතුලත බිත්තියේ පිට පැත්තේ සිත්තම් වූ එය දුටු ගැමුණු රජතුමා විසින් එලාරව පරාජය කරනු ලබන අයුරු පෙන්වයි. කඩොල් ඇතා පිට නැග ගත් ගැමුණු රජ එළාර රජුට හෙල්ල පහර එල්ල කරන අයුරුත් එළාර රජු ලේ පෙරාගෙන වැටෙන අයුරුත් බලා මා බුදු මැදුරෙන් එලියට එන්නේ බුදු හිමිගේ ශාන්ත මුහුණ දෙස බලා සන්සුන්වූ මනසකින් එලියට එන දරුවෙකු ලෙස නොව පර  දෙමළුන් කැති ගසමි යි සිත පුරා වෛරය ක්‍රෝදය සහ ද්වේශය පුරවා ගනිමිනි. අප ගමට අසාන්නයේ ඇති වතුවල ජීවත් වූ අන්ත අසරණ දෙමල මිනිසුන් දිහා පවා මා බැලුවේ ඒ සිතුවිල්ලෙන්මය. 

මේ පරිසරය දෙමල ජාතිකයින්ගේ විමුක්ති අරගලයේ ආරම්භය අතිශයින් සාදාරනීකරණය කල අතර 83 දී සිංහල දේශපාලකයින් හා මැරයින් විසින් අවශ්‍ය  ජවය ලබා දීමට කටයුතු කළේය.  ලංකාවාසී දෙමළුන් පමණක් නොව ලෝක වාසී දෙමලුන්ද එක්තරා හීන මානයකින් පෙළුන අතර දැනුදු පෙලෙන්නේය. ඒ අන් කවරක් වත් නොව කෙතරම් විශාල ලෙස ව්‍යාප්ත වී සිටියද තමාගේ ජාතියට කියා රටක් නොතිබීමයි. සිංහලයින් විසින් ලක්මවගේ පිටස්තරයෙකු නොඑසේනම් පරයෙකු බවට පත් කල ශ්‍රී ලාංකීය දෙමළා තමන්ගේම වෙනම රටක් උදෙසා සටන් කිරීමේ මාවතට තල්ලු කිරීම ඉතා පහසු කරුණක් විය.  අරගලයේ ආශ්වාදය ශ්‍රී ලාංකීය දෙමලුන්ටත්  වඩා තමිල්නාඩුවේ සහ ලෝකයේ විසිරී සිටින දෙමලුන්ට දැනුනු අතර ඔවුන්ගේ ආශිර්වාදයෙන්  එය ජාත්යන්තරකරණය විය.

ශ්‍රී  ලාංකීය දමිල විමුක්ති අරගලයට දහසකුත් එකක් සාදාරන කරුණු තිබුනේ වී නමුදු භාවිතාවේ දී ඔවුන් විසින් විමුක්ති දායකත්වය සුනු විසුනු කර ගත් කෘර තස්ත්‍රවාදී සංවිධානයක් බවට පත්වුයේ තමන්ටත් වඩා අන්ත අසරණ ජනතාවකගේ ලේ රස බලමිනි. සිංහල ගම්මාන වලට පැමිණ බඩ කපා මරා දමන ලද දරුවන්ගේ කුසෙන් එලියට ආවේ අල බතල පමණි. ඒ කුස් බත් ඇටයක් නොදැක  තිබුණි. අතශයින් කෘර වූ ඒ ක්‍රියා මාර්ග කිසිවෙකුටත් සාදාරනි කරණය කල නොහැක්කේය. මා LTTE සංවිධානය තස්ත්‍රවාදී සංවිධානයක් ලෙස දකින අතර ම LTTE සාමාජිකයින් විමුක්තිකාමීන් ලෙස දකින්නේ LTTE සංවිධානය තම ක්‍රියා මාර්ග හමුවේ බිහිසුණු තස්ත්‍ර සංවිධානයක් බවට පත් වීම නිසාත් LTTE සාමාජිකයින් සටන් වැදුනෙත් දිවි පිදුවෙත් ජනතාවගේ විමුක්තියේ නාමයෙනුත් වන බැවිනි. ජනතාවගේ නිදහස උදෙසා සටන් වදින්නන් විමුක්ති කාමීන්ය. 

එමෙන්ම මෙහි අනිත් කෙලවර සිටින හමුදා සාමාජිකයා හුදු කුලීයට මිනී මරන්නෙක් ලෙසද මා නොදකිමි.  ඔවුන් බොහෝ දෙනෙක් හමුදාවන්ට සම්බන්ධ වුයේ දරිද්‍රතාවය නිසා වන්නේ නමුදු දිවි පිදීම දක්වා ඔවූන්ගේ ධෛර්ය වඩවනු ලැබුවේ දේශප්රේමී උත්තෙජකයන් බව පිලි ගැනීමට සියල්ලන්ටම සිදුවේ. LTTE සාමාජිකයා මෙන්ම හමුදා සෙබලා ද එක සේ කුරිරු විය සාහසික විය. දෙදෙනාම මෙහෙයවනු ලැබුවේ එකම චිත්ත ශක්තියක් මගිනි. ඒ දේශප්‍රේමයයි , ජනතාවගේ නිදහසයි. 

අපි නැවතත් සංවේදී කවියන් දෙස හැරෙමු.  තල්  ගස් යට ගිනි සිඹින දුහුවිල්ලට වැටෙන්නටත් පෙර ම වියලෙන  කෝකිලා ගේ කඳුළු අපේ හදවත් වල ට කඩා වදින්නේ මල්ටි බැරල් රොකට් උන්ඩ   මෙන්ය. කවියන් අතිශයින්ම  සංවේදීය සුන්දරය භාවාත්මකය. ඒ භාවාත්මක බව තුල සංවේදී බව තුල යතාර්ථය ගිලී යන්නෙහිද? 

කෘර තස්ත්රවාදී සංවිධානයක් බවට විකාශනය වූ දෙමල විමුක්ති අරගලය එහි දේශපාලන අංශයේ නායිකාව පාපොච්චාරණය කරන ලෙස තනි පුද්ගලයෙකුගේ අභිමතය මත සාමය සහ යුද්ධය තීරණය වුයේය. නැවත යුද්ධය අරබීමේ තීරණයට එකග විය නොහැකි  වූ නිසා අවසන් වරට ඇන්ටම්  බාලසිංහම් මව් බිමෙන් නික්මෙද්දී ඔහුගේ ඇස් කඳුලින් පිරී තිබෙනු දුටු බව ඇය පැවසුවාය. 

කුරිරු යුද්ධය යතාර්ථය බවට පත්විය.  මල්ටි බැරල් උන්ඩ වැදී සමුල ඝාතනය වූ දරුවන්ගේ කෑලි අතින් ගෙන විලාප නගන දෙමල මවු පිය වරුන්ගේ  චායා රූප අන්තර්ජාලයේ මම දකින විට මගේ දෙනෙත් කඳුලින් පිරී යන්නාක් මෙන් ම කැබැතිගොල්ලෑවේ මියගිය දරුවන් වැලද හඬන මව් පියවරු හඬන චායා රූප දකින විටදීද මගේ හදවත කම්පාවේ. LTTE සංවිධානයේ එවන්වූ කෘර ක්රියාවන් ගෙන් ජනතාව ආරක්ෂා කිරීමට කල යුතුව තිබුනේ කුමක්ද ? LTTE නායකත්වය මස් රාත්තලම ඉල්ලන තත්ත්වයක් තුල  කාලකන්නි කුරිරු යුද්ධය යාතාර්ථයක් නෙවුනිද? 

 ජාතීන්ගේ ස්වයන් තීරණ අයිතිය පිළිගෙන දෙමල ජාතියට වෙන්ව යාමට ඉඩ දිය යුතුව තිබුණි යැයි කෙනෙකුට තර්ක කල හැකිය. එහෙත් එය යතාර්තවාදීද?.  උතුර ස්වාධීන රාජ්යයක් ලෙස කොපමණ කලක් පැවතුනේද  නැගෙනහිර කෙතරම් බවුද්ධ සිධස්ඨාන තිබේද යන්න මට මෙහිදී වැදගත් නැත. වැදගත් වන්නේ අතීතය නොව වර්තමානය හා අනාගතය වඩා යහපත් වීම සඳහා තීරණ ගැනීමයි. 

මා මෙහිදී ඉන්දියාවෙන් පකිස්තානය වෙන්ව යාම විශ්ලේෂණය කිරීමට කැමැත්තෙමි. 1947 දී ඉන්දියාවෙන්  කොටසක් පකිස්තානය ලෙස නම් කර වෙනම රටක් ලෙස නම් කල  අවස්ථාවේ දී ඇතිවූ සිවිල් අරගල හේතු කොට මිය ගිය ගණන ගැන නිවැරදි සංඛා ලේඛන නොමැති වුවත්  ලක්ෂ විස්සකට ආසන්න හින්දු සහ මුස්ලිම් ජනතාව කුරිරු ලෙස ඝාතනය වූ බව පැවසේ. එමෙන්ම ලක්ෂ 140 ක් පමණ ජනතාව අවතැන් වුහ.  1947  ට පසු 1965, 1971 සහ 1999 යන වසර වල නැවත නැවතත් දෙපාර්ශවය යුධ වැදී ඇති අතර මේ ලිපිය ලියන මොහොතේ දීද ගිනි කන්ද නැවතත් පුපුරා යන තත්ත්වයක් උත්ගතව පවතී. ඒසා විශාල භූමි ප්රමාණයකින් හා විවිධ ස්වභාවික සම්පත් වලින් අනුන වූ ඉන්දියාවේ කොටසක් වෙනම ස්වාධීන රාජ්යයක් ලෙස නම් කිරීම මෙතරම් ජීවිත සංඛාවක් බිලි ගනිමින් ඉදිරියට යන්නේ නම් ශ්‍රී  ලංකාව අරභයා එවැනි බෙදා වෙන් කිරීමක් කෙසේ බලපෑමක් ඇති කරයිද ?
 ශ්‍රී  ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටි වර්ග කිලෝ මීටර් 65,610 ක් පමණ වන කුඩා දුපතකි. පිහිටීමත් භුමි ප්රමාණයත් සලකා බලන ලද කල්හි මේ කුඩා දුපත තුල රාජ්යයන් 2ක් පැවතීම කිසි ලෙසකින්වත් ප්‍රායෝගික නොවේ. අතීතයේ මේ කුඩා දුපත තුල ස්වාධීන රාජ්යන් දෙකක් නොව බොහෝ ගණනක් තිබුණු බවට කෙනෙකුට තර්ක කල හැකිය. එසේ නම් ඉන්දියාවේ ඊට වඩා බොහෝ වැඩි ගණනක් කුඩා රාජ්යයන් පවතී බව අපි  දන්නෙමු. සනිවේදනය හා ප්‍රවාහනය ප්‍රාථමික තත්ත්වයේ තිබුණු ඒ යුගය හා වර්තමාන යුගය කිසි ලෙසකින් වත් සංසන්දනය කල නොහැක්කේය. ශ්‍රී  ලංකාව නමැති මේ කුඩා දුපත වෙනම රාජ්යයන් දෙකකට කැඩෙන්නේ නම් එය සිදු වන්නේ සුහදව සතුටින් නොවේ. ඒ තුල  ගොඩනැගෙන්නේ එකිනෙකට සතුරු අකිනේකා කෙරෙහි නිරන්තරයෙන් අවිශ්වාශයෙන් යුත් රාජ්යයන් දෙකක් හා ජනතාවන්ය. එවැනි පරිසරයක් තුල  උතුරු නැගෙනහිරෙන් පිටත ජීවත් වන දෙමල ජනතාවගේ ඉරණම කෙසේ වේද? ඉන් පසු උදා වන්නේ මහවැලි ගගේ වතුරට හා දේශසීමාවන් වලට දිනපතා මරා ගන්නා රටවල් දෙකකි. ඉන්දියාව හා ජාත්යන්තරයේ අත පෙවීම මත මේ තත්ත්වය වඩාත් බිහිසුණු වීම නියතය. 

ජාතීන් ගේ ස්වයන් තීරණ අයිතිය ගැන මාක්ස් - ලෙනින්  මතය ගෙඩිය පිටින් ගිලීම නිසා හෝ අතිශය සංවේදී සාදාරන කෝණයකින් බලා දෙමල ජනතාවගේ ස්වයන් තීරණ අයිතියට මා එකග නොවන්නේ ඉහත කී කරුණු විග්‍රහ කොට විශ්ලේෂණය කිරීමෙන් විනා පටු ජාතිවාදී කෝණයකින් කරන විග්‍රහයකින් නොවේ. 

"අප නිදහස ලබා දීමට සටන් කල ජාතිය අපගේ අරගලය  නිසාම අපේ ඇස් ඉදිරිපිටදීම විනාශ විය" යනුවෙන් තමලිනී  කීවේය. යුද්ධය වෙනුවෙන් පෙනී සිටි අය ම්ලේච්චයින් බව මේ දිනවල නිතර ප්‍රකාශ වන අයුරු මම දකිමි.අවසන් මොහොතේ යුද්ධය හැර වෙනත් විසදුමක් තිබුනේද?. උතුරේ සිදුවූ ඝාතනවල තනි වගකීම රජය හා ආරක්ෂක හමුදාවන්ට පමණක් පැවරිය හැකිද?   තිබුනේ නම් ඒ බෙදී වෙන්වීමේ විසදුම තුල අනිවාර්යයෙන්ම ඊට වඩා විශාල ගණනක් ජීවිත විනාශ  නොවන්නේද?

ප්‍රබාකරන්ගේ පවුලේ උදවිය (විෂශයෙන්ම කුඩා දරුවා) මරා දැමීම මා කිසිවිට අනුමත නොකරන නමුත් අපේ මාර්ක්ස්වාදී මිතුරන්ට මතක් කර දිය යුතු එක කරුණක් තිබේ. එනම් 1917 දී ලෙනින් විසින් සාර් රජ පවුලම මරා දැම්මා පමණක් නොව ඔවුන්ගේ බල්ලා පවා මරා දැම්ම බවය. එය සිදු කලේ ලෙනින් නොව ට්‍රොස්කි හෝ ස්ටාලින් බව කියා ලෙනින් බේරා ගැනීමට කෙනෙක් ඉදිරිපත් විය හැකි නමුදු සියල්ල සිදුවුයේ ලෙනින්ගේ නායකත්වය තුල බව අවද්දරණය කරනු කැමැත්තෙමි .

මට අවශ්‍ය  කවියන්ගේ උත්තරීතර මානුෂික හැගීම් හා සංවේදී මනසට යටවන යතාර්ථය ගෙනහැර පාම මිස දෙමල ජනතාවගේ අරගලය අසාදාරන බව කීම නොවන බව නැවත අවදාරණය කරනු කැමැත්තෙමි. ඒ සඳහා දිය යුතු විසදුම බෙදී වෙන්වීම නොවන බව ඉතා පැහැදිලිය. ඒ විසදුම නම් දෙමළා පරයෙකු නොව සොයුරෙකු බව සිංහලයා පිලි ගැනීමයි. දෙමළා ඉන්දියාවේ අවජාතක දරුවෙකු නොව ලක් මවගේ සුජාත දරුවෙකු බව පිලි ගැනීමයි. දෙමළුන්ට මේ රටේ සිදු වූ අසාදාරනය කුමක් දැයි අසන ඕනෑම සිංහලයෙකුගෙන් මා අසන සරල පැනයක් තිබේ. ඒ "ඔබ මේ රටේ ජනාධිපති ලෙස දෙමලෙකු පිලි ගැනීමට සුදානම්ද ?"  යන්නන්යි. සිංහල බහුතරය එසේ පිලි ගැනීමට සුදානම් නොවන තාක් කල් දෙමළුන් වෙනම රටක් සඳහා සටන් කිරීම වැළක්විය නොහැක්කේය. 
ඒ නිසා මා සිතන්නේ සිංහලයේ මහා වීරයා වන දුටුගැමුණු රජතුමන් එළාර රජු මරා දමන චිත්‍රය නොව පන්සල් තුල සිතුවම් කල යුත්තේ මරා දමනු ලැබූ ආක්රමනිකයාටත් ගවුරව කරන දුටු ගැමුණු රජුගේ සිතුවමයි. 

අරාජික කවියන්ගේ ද මජර ජාතිවාදීන්ගේ ද නොවන කෝණයකින් මේ දෙස බලන පුරවැසියන් ඉතා විරල බව මම සක්සුදක් සේ දනිමි

 - ඉන්දික අනුරාධ ගමගේ -





Monday, November 21, 2016

වික් මැති ඔබ නීති සැරදේවා !!!



මා එකල පාසලේ දීප්තිමත් මෙන්ම ඉතා කීකරු සිසුවෙකු විය. මගේ ඒ දීප්ති කදම්භය කෙතරම් දුරට විහිදීද යත්  මා උසස්පෙළ හදාරමින් සිටිද් දී යම් දිනක් මගේ පන්ති භාර ගුරුතුමිය මෙසේ ආදරයෙන් මා ඇමතුවාය. "අනුරාධ, ඔයා ඉස්කෝලේ එන්නේ ඉගෙන ගන්න නෙවෙයිනේ. එත් අනිත් ළමයින්ට ඉගෙන ගන්න ඕන. ඒ නිසා අනිත් ළමයින්ට ඉගෙන ගන්නත් මට මේ රස්සාව කර ගන්නත් ඉඩ දීල ගෙදර නවතින්න" ඉතා කීකරු සිසුවෙකු වූ මා එම අවවාදය ඉත සිතින් පිළිගත් අතර ඉන් පසු මා පාසලට ගියේ අස්වීම් සහතිකය ලබා ගැනීමට පමණි. 1992 දී ක්ෂණිකව බිඳ වැටුණු ඒ මිතුදම් බොහොමයක් නැවත ගොඩ නැගුනේ නැත. 2016 වසරේ දී 93 කණ්ඩායම් සාදයට නොගොස් සිටීමට මට කිසිසේත්ම නොහැකි විය. සුදු ඇඳුමෙන් සැරසී මා නිසා අමාරුවේ වැටීමට නියමිතව සිටි මගේ පාසල් මිතුරන් තට්ටේ පෑදුනු රැවුල් සුදු වුනු වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන්, ව්‍යාපාරිකයින්, නීතිඥයින්, රජයේ නිලධාරීන්, ගුරුවරුන් සහ ඉහල පෙලේ කළමනාකරුවන් වී  සිටියහ. වසර 24 කට පසු බොහෝ දෙනෙකුට මාවත් මට බොහෝ දෙනෙකුත් හඳුනා ගැනීමට නොහැකි විය. හඳුනා ගත් මොහොතේ  කෙතරම් තදින් වැලද ගත්තේද යත් දින කීපයක් යනතුරු ඇඟ රිදුම් දුන්නේය.
එදින නැවතත් ගෙදර පැමිණෙමින් මම මගේ අතීතය දෙස ක්ෂණික බැල්මක් හෙලුවෙමි. 1990 දී සාමාන්‍ය පෙළ ලිවීමට නියමිතව සිටි මට මාස තුනක පන්ති තහනමක් පැනවුනි. පාසල් නොගියත් මම ඉහලින්ම විභාගය සමත් වීමි. 1992 දී අතර මග දී පාසල් ගමන ට සමුදුන් මා 1996 දී මගේ සමකාලීන මිතුරන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන විටම විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබීමට වාසනා වන්ත වීමි. විශ්වවිද්‍යාලයේ පුර්ණ කාලීන දේශපාලනයේ නිරත වී අවසන් වසරේ දී විෂයන් 11ක් එකවර ලියා අසීරුවෙන් උපාධිය ලබා ගත්තෙමි. කිසිඳු අත පෙවීමකින් තොරව රජයේ බැංකුවක කළමනාකරණ අභ්‍යාසලාභීයෙක් ලෙස රැකියාව ලැබුණි. ඉහල නිලධාරියෙක් සමග ඇති කරගත් ගැටුමකින් එම බැංකුවට ඉලා අස්වීමේ ලිපිය දුන්නෙමි. පවුද්ගලික බැංකු කීපයකම සේවය කලෙමි. සැමවිටම කලින් සිටි තත්වටය වඩා යහපත් තනතුරු සහ වරප්‍රසාද හිමි විය. ආදරණීය සුන්දර බිරිදක් මෙන්ම වාසනාවන්ත සුරතල් දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වීමි.
මේ ජයග්‍රහණ පිටුපස බොහෝ දෙනෙක් ඇතත් කීප දෙනෙක් තීරනාත්මකය. පළමු වැන්නා මගේ සියලු කඩාකප්පල් ක්‍රියාවන් ඉවසමින් මට මග පෙන්වූ තාත්තාය. දෙවැන්නා කෙදිනක හෝ (කේන්දරයේ සඳහන්ව ඇති පරිදි) මා ජීවිතය ජය ගනු ඇතැයි නිබදව විශ්වාසකළ අම්මාය. තෙවැන්නා රන් අම්මාය. ඇය මගේ  මවගේ නැගණියක් වන අතර මා පාසල් අධ්‍යාපනය කඩා කප්පල් කර ගත පසු මා කොළඹ ගෙනවිත් පළමු රැකියාව තෙක් මා මෙහෙය වූ සොඳුරු ආඥයාදායිකාව විය.

අනෙක නම් කර්මය පින සහ පවයි. මගේ  ජීවිත කතාවේ සිදුවීම් මාක්ස්වාදී "අහම්බය" යැය් මා දැන් කිසිවිටෙකත් නොසිතන්නේ මේ "අහම්භය" සැමවිටම මෙලෙසින් සිදු වුයේ නම් එය පට්ටම අහම්බයක් වන බැවිනි. එමෙන්ම දෙවියන් ගේ සහ යහපත් බලවේග වල ආශිර්වාදය ද මේ පිටුපස තිබෙන බව විශ්වාස කරමි.  මගේ ආදර්ශමත් නොවන ත්‍රාස ජනක ජීවිත අන්දරයේ මේ සංක්ෂිප්තයේ සඳහන් නොවුණු, මරණයේ සෙවනැල්ල අසලට ගොස් හැරුණු සිදුවීම ඇතුළු සිදුවීම් රාශියක් සලකා බලන කල සාමාන්‍ය සම්භාවිතාව අනුව ඒවා අහම්බය ලෙස කිසිසේත් බැහැර කල නොහැක්කේය. එම නිසා පැහැදිලිවම එය පෙර කල පින් වලටත් ආශිර්වාද වලටත් භාර දෙමි.

තවත් දෙයක් අනිවාර්යයෙන්ම තිබේ. ඒ මගේ  පාසලයි. පාසලෙන් මා අධ්‍යාපනය හැර අනෙකුත් සියල්ල උකහා ගත්තෙමි. පාසලෙන් පිටතදී දැනුම අවශෝෂණය කරගෙන ජය ලැබුමට මා මෙහෙයවනු ලැබුවේ ඒ පින් බිමට මා පය තැබීමෙන් ලත් පන්නරයි.

" වික් මැති ඔබ නීති සැරදේවා !!!!!!!!!!!!!!! රිච්මන්ඩ් නාමය බැබලේවා!!!!!!!!!!!!!!!

Friday, September 23, 2016

හිස් තැනකි නිවන් පුර (ගමයාගේ නිසදැස් )

බව සසර දුක නිවන 
හිස් තැනකි නිවන් පුර
සාරසක් කප් සියක් 
පෙරුම් පුරමින් බවුන් වඩා 
බිඳ දමා සියලු රුක්ෂයන් 
වැජබෙන යෙහෙන් සිත මත 
ඇතුළු වනු දරුව
අපා දෙපා සිව්පා 
දුටු නුදුටු සියලු සතුනට 
මෛත්රී කරමින
මග දුර වැඩියි දුෂ්කරයි 
පින්වතුනි 
ෂෝර්ට් කටයක් තිබේ 
වහ වහා මේ බලව
නිවන් පුර රුවන් දොර 
සැනෙන් බිඳ හෙළිය හැකි 
ගිජිඳු රජවරුන් පිට 
නැගී යමු පෙරහැරක
බිද දමනු හැකියි ද්වාරය 
ගිජුඳු බලයෙන් 
බෙර හඬට පා තබන 
වහ වහා රැගෙන ඒව 
ගිජිඳුන් යමින් බැඳ 
මව් ඇතින්න මර දමා උවද 
දොසක් නැහැ පින්වත
බව සසර දුක නිවන 
හිස් තැනකි නිවන් පුර 
ඇතුළු වනු දරුව
අපා දෙපා සිව්පා 
දුටු නුදුටු සියලු සතුනට 
මෛත්රී කරමින
- ඉන්දික අනුරාධ ගමගේ -
10/08/201
6