පසුගිය නත්තල් සමයේ අපි යාපනයේ සන්චාරයක නිරත වූවෙමු. දීර්ග සති අන්තයක නවාතැන් පොලක් සොයා ගැනීමේ දැඩි අපහසුතාවයට මුහුණ පෑ අපි අදහස් හුවමාරු කර ගැනීමේදී ඊටත් වඩා දැඩි අපහසුතාවයකට මුහුණ පෑවේමු. එහෙත් තමන් දන්නා සිංහල සහ ඉංග්රීසි වචන දෙමල සමග මුසු කරමින් අපට සහය වීමට ඔවුන් ගත් උත්සාහය කිසිවිටෙකත් අමතක නොවේ. එක
ස්ථානයකදී මෝටර් බයිසිකයලක් උඩ සිටි "මහත්මයෙකු" තම අතැති දුරකතනයෙන් ස්ථාන කීපයකට කතාකර නවාතැන් පහසු කම් ඇත්දැයි විපරම් කළේය. මගේ දුරකථනය කාරුණිකව ප්රතික්ෂේප කල ඔහු යම් කිසි ස්ථානයකට යාමට අවශ්‍ය මාර්ග විස්තරය අප විසින් වටහා නොගත් බව වටහා ගෙන ඔහුගේ මෝටර් බයිසිකලයෙන් කිලෝ මීටර් කීපයක් මග ගෙවා දමින් මග පෙන්වීමට කාරුණික විය.
කෙසේ නමුදු අපට ඉතා කුඩා හෝ නවාතැනක් සොයා ගැනීමට හැකි වුයේ යාපන නගරයෙන් සෑහෙන දුරකට පේදුරු තුඩුව දක්වා ගමන් කිරීමෙන් අනතුරුවය. තවත් හොරා කීපයකට පසුව අපමෙන් අනාත කණ්ඩායමක් ද එහි පැමිණි අතර
මගේ "දකුණේ" සම්භවය ඔහුනට මහත් ප්රීතියක් විය. එහි පැමිණි රථයේ රියදුරු සිටියේ අසුරයින් පර සක්වල ගසා අසුර භවනේ සක් දෙවිඳුගේ රථය පද යන මාතලී මෙන් ප්රීතියෙන් ද මාන්නයෙන් ද ආද්ය්යවය. එහෙත් ඔහුගේ වෛරයට පාත්‍ර වී තිබුනේ තවමත් මේ "පර දෙමලුන්ගේ" ආඩම්බර කමේ අඩුවක් වී නොතිබීමයි. ඔහු
ගේ වෑන් රථයේ තිබු කාර්මික දෝෂයක් නිවැරදි කර ගැනීමට ගරාජ් එකකට ගොස් එහි සිටි අයෙගෙන් "තවමත් මෙහෙ LTTE කාරයෝ" ඉන්නවාදැයි විමසු විට ඔහුට ලැබී තිබුණු රළු පිළිතුර වුයේ " ඒ ගැන කතා කරන්න එපා. මේ පැත්තේ යුද්දයෙන් මැරුණු නැති කෙනෙක් ඉන්න ගෙයක් හොයන එක අර අබ හෙව්වා වගේ" යනුවෙනි. ඔවුන් කතාව දැන හෝ නොදැන උපමා කොට ඇත්තේ කිසා ගෝතමියගේ නොමල ගෙයකින් අබ සෙවූ කතාවයි.
LTTE
යනු ඕපපාතිකව මහා පොලවේ පහල වූ සංවිධානයක් නොවේ. එතෙක් මෙතෙක් සිංහල දෙමල බල ලෝභී දේශපාලකයින් ගේ ද තිරිසන් ජාතිවාදී නොමිනිසුන් ගේ ද ක්රියාවලියක අග්‍ර පලයයි. පසුගිය සති අන්තයක
ලංකාදීප පුවත්පතේ පලවූ "ශ්රී මහා බෝධිය ලග වෙඩි තිබ්බේ රාසයියාගේ පුතයි වල්ලි පුරම් ගේ පුතයි" යන තේමාව යටතේ පළවූ ලිපියේ ශ්රී මහා බෝධිය අභියස සිදුවූ දැවැන්ත සංහාරය ඇසින් දුටු වසර 60 ක් ශ්රී මහා බෝධිය ලග දිවි ගෙවන ගුණපාල මහතාගේ අත් දැකීම දිග හරින්නේ මෙලෙසෙනි. "1957 අවුරුද්දෙ ඉඳන් මම මේ අනුරාධපුරේ සිංහල - දෙමළ ගැටුම් දැක්කා. හර්තාල් දැක්කා. අවුරුදු පහෙන් පහට වගේ දෙමළ මිනිස්සුන්ට විරුද්ධව මොකක් හෝ කැරැල්ලක් රටේ ආවා. එහෙම වෙච්ච ගමන් අපේ සමහර චණ්ඩි කීප දෙනෙක් (හැමෝම නොවෙයි) දෙමළ අයට ගහනවා. ඒ ගහන්නෙ ඇයි? දෙමළ මිනිහගෙ දේ කොල්ල කන්න. සල්ලි ටික උදුරගන්න. කඬේ බිඳින්න. ගෑණු ළමයි දූෂණය කරන්න. ඔය චණ්ඩි ජීවත් වුණේ රටේ මේවගේ ප්රශ්නයක් ආවම, බොර දියේ මාළු බානවා වගේ දෙමළ මිනිහගෙ දේ මංකොල්ල කාලා.
‘සිත්තප්පලම් දෙමළ හෝල් එක ගිනි තිබ්බා. රාස අයියලට, වල්ලිපුරම්ලට හුඟක් කරදර වුණා. අනුරාධපුරේ ඔය වැඩ කළේ ඇල්බට්, විල්බට්, රොබට් වගේ චණ්ඩි කීප දෙනෙක්. සමග එයාලගෙ කණ්ඩායමක්.
සමහර දෙමළ ගෑණු ළමයි හිතක් පපුවක් නැතුව දූෂණය කළා. ඒ වගේම ඒ ජාතිවාදය අස්සෙ ජහ ජරා වැඩ කරපු ඇල්බට්, රොබට්, විල්බට් වගේ චණ්ඩි කොටසක්. ඒ මිනිස්සු එහෙම නොකළා නම් රාස අයියගෙ පුතාලා, වල්ලිපුරම්ගෙ පුතාලා මේ ශ්රී මහා බෝධියට ගහන්න එන්නෙ නෑ. එයාලා දැකපු, දන්න තැනට, වගේම තමන්ගෙ අයට වදදීපු අය හොයාගෙන ඇවිත් සේරටම ගැහුවා. ඒකයි වුණේ.
මේ සිංහල දේශප්රේමීන් ගේ ජාත්යාලය මමද අත් දැක ඇත්තෙමි. ඒ මගේ ගමට යාබදව ඇති වතු යායේ දෙමලකම්කරුවන් නිසාවෙනි. අද උවද ඔවුන් ගෙවන්නේ ඉතා දුක්ඛිත ජීවිතයකි.
එහෙත් අවස්ථා කීපයකදීම අවට ගම්වල නොමිනිසුන් ජාත්යාලයට මුවාවී මේ අහිංසකයින් තලා පෙලා ඔවුන් සතු පිත්තල
සෙම්බු පහන්, කුකුලන් එළුවන් ආදිය කොල්ල කෑ හැටි එවකට කුඩා දරුවෙකුව සිටි මට අදටත්
මතකය. එක අවස්තාවකදී පොන්නය්යා නම් වූ අහිංසක මිනිසෙකු ගල් කටස් තුවක්කුවකින් වෙඩි
තබා මරා දමන ලදී. මරා දමා තිබුනේ කොල්ලකෑමට
පැමිණි අය ඔහු විසින් හඳුනා ගැනීමයි. දහවලදී එක බුලත්විට දෙකට කඩා කා එකම තේ හෝ රබර්
ඉඩමක දෙමළුන් සමග ශ්‍රමය අලෙවිකළ කළ සිංහලුන් රාත්‍රියට ජාති ආලය පෑවේ එලෙසිනි.
වාසනාවකට වතු කම්කරු දෙමල ජනතාව පලි
ගැනීමට අත වූ උදැල්ල හෝ වක් පිහිය නො එසවූ නමුත් රාස අයියලා ගේ වල්ලිපුරම්ලා ගේ දරුවන් එසේ තිරිසනුන් ලෙස තාඩන
පීඩන වලට ලක් වීම තම දෛවය ලෙස බාර නොගත්හ.
ජාතිවාදී යුද්ධය ඇවිල ගියේ එලෙසිනි.
ඔවුන් ප්‍රබාකරන්ගේ ගොදුරු බවට පත්වී වැලිකන්දේ, කෝකිලායි, කබතිගොල්ලාවේ පමණක් නොව
අගනුවර පවා ජීවත් වූ ඔවුන් වැනි ම වූ අහිංසක
සිංහල කිරි කැටියා ගේ පවා ලේ රස බලන තත්ත්වයට පත්විය.
මේ සමගම තවත් අත්දැකීමක් මගේ මතකයට
නැගෙයි. 1987 දී මම 8 වසරේ ඉගෙන ගන්නා සිසුවෙක් වූ අතර එවකට හමුදාවේ හිටිය දෙවන ලුතිනල්
අයියා කෙනෙක් මම දැන සිටියෙමි. දිනක් ඔවුන්ගේ සොල්දාදුවන් ගමන් කල ජීප් රථයකට
LTTE එක බෝම්බයක් තබා විශාල සෙබළු සංඛ්‍යාවක් මරා දමා තිබුණි. ඉන් පසුව ගම්
වැදුණු සෙබළුන් ගමේ දෙමල තරුණයින් තුන් දෙනෙක්
අල්ලාගෙන ඇවිත් ඔවුන්ට වෙඩි තබා මරා පුළුස්සා
දමුවෙලු . එක තරුණයෙක් ගේ ගේ තාත්තා කෙනෙක්
ඇවිත් ඒ අයියගේ කකුල් දෙක අල්ලලා වැදලා කිව්වලු දරුවාව දෙන්න කියලා. අය්යා කිව්වා
"ඌ අහිංසකයෙක් මම ඌට රුපියල් සීයක් දුන්නා" කියලා. අදටත් ඒ කතාව මතක් වෙනකොට
මගේ හිත කීරි ගැහෙනවා. ඒ කතාවේ මැරුණු කොල්ලා මම වෙලා මගේ තාත්තා අර අහිංසක මනුස්සයා
වෙලා අඩා වැටෙන හැටි මැවිලා පේනවා. ඊට අවුරුදු 2කට පස්සේ ඒ වගේ කතා දහස් ගානක් දකුණේත් ලියවුනා. ඒ කාලෙදී
හමුදාවෙන් ආරක්ශා වෙන්න මමත් මගේ තාත්තත් එක්ක තේ ගස් යට නිදා ගෙන තියෙනවා. සිංහල හමුදාව
සිංහල සමාජයේදී හැසුරුණු ආකාරය ගැන අවබෝධයක් තියෙන කාට වුනත් සිංහල හමුදාව දෙමල සමාජයේදී
කොහොම හැසිරෙන්න ඇති ද කියලා අවබෝධයක් ලබා ගන්න පුළුවන්.
මෑතක් වෙනතුරුම ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු
ගේ ජාතික හැදුනුම් පතේ පවා නම සදහන් වුනේ සිංහල
භාෂාවෙන් පමණයි. යාපනෙන් පැමිණි මගේ විශ්වවිද්‍යාල මිතුරෙකුගේ නම " ජෙරාඩ්"
එත් ජාතික හැදුනුම් පතේ නම සදහන් වුනේ " ජෙරාට්"යනුවෙන් අඩුම තරමින් තමන්
ගේ නම ජාතික හැදුනුම් පතේ සදහන් වී ඇති ආකාරය
වැරදියි කියලවත් ඔහු දැනගෙන හිටියේ නැහැ. මේ ආකාරයට හැම අතින්ම තමුන්ව පීඩනයට ලක්වන
බව පමණයි ඔවුන් අවබෝධ කර ගෙන තිබුනේ.
යුද්ධය දශක තුනක් ඇදෙන කොට උතුරේ
අලුත් පරපුර සිංහලයින් කියන්න දැනගෙන හිටියේ හමුදා භටයින් පමණයි. දශක තුනක් උඩින් බෝම්බ
දාන කොට ෂෙල් වෙඩි ගහන කොට මෝටාර් කාලතුවක්කු ගහන කොට ඒවා වැදුනේ තස්ත්රවාදීන්ට විතරක්
නෙවෙයි. මේ පීඩාවෙන් දෙමල ජනතාව මුදවා ගන්න සිටින එකම විමුක්ති දායකයා ප්‍රබාකරන් විතරයි
කියලා දෙමල ජනතාව ට දැනුනා. LTTE වටා මිනිසුන්
රොක් වුනා. දකුණේ උනත් බහුතර දෙමල ජනතාව LTTE කියන්නේ විමුක්ති සංවිධානයක් කියලයි හිතුවේ.
කාලයක් යනවිට සිංහල සමාජයේ ජාතිවාදී කොටස් වල විරෝධය
මැද වුනත් ගවුරවාන්විත සාකච්චා මාර්ගයකින් මේ ප්‍රශ්න විසදා ගන්න සමහර සිංහල දේශපාලකයින්ටත් සමාජයේ යම් කොටස් වලටත්
අවංක වුවමනාවක් තිබුනා. එත් LTTE සංවිධානය ඒ වනවිට යුද්ධය හැර වෙනත් කිසිම විකල්පයකට
සුදානම් වී සිටියේ නැහැ. ඒ නිසා කෙතරම් කුරිරු වුවත් යුද්ධය යතාර්ථයක් බවට පත්වුනා.
යුද්ධයේ දී සටන් වැදුන සහ මිය
ගිය හමුදා සෙබළුන් කුලී හමුදා කාරයෝ කියලා මම කිසි විටකත් සිතන්නේ නැහැ. කීප දෙනෙක්
ඇති වැරදි අඩුපාඩු සිද්ද වුනත් ඔවුන් විශාල කැප කිරීමක් කළා. ඔවුන්ට අත්විය යුතු ගවුරවය පුද දෙන්න්නට ශ්‍රී
ලාංකිකයින් වශයෙන් අප කිසි විටෙකත් පසු බට විය යුතු නැහැ.
යුද්ධය ඇතුලේ පවතින්නේ වේදනාව පමණමයි.
මේ වන විට සමාජය ඇතුලේ කතිකාවතක්
ගොඩ නැගී තිබෙනවා තියෙනවා යුධ ජයග්‍රහණය සැමරීම පිළිබඳව. යුධ ජයග්‍රහන සැමරිය යුතුයි
කියන අයගේ මතය වන්නේ ශ්‍රී ලංකා හමුදා සටන් කලේ තස්ත්රවාදීනට එරෙහිව මිස දෙමල ජනයාට
එරෙහිව නොවන බවයි. ඒ නිසා යුධ ජයග්‍රහණ සැමරීමේදී සාමාන්‍ය දෙමල ජනතාවට ප්‍රශ්නයක්
නොමැති බවයි ඔවුනගේ තර්කය. එහෙත් මෙහෙදී මා හට පෙන්වා දීමට අවශ්‍ය වුයේ LTTE සංවිධානය
යනු ඕපපාතිකව බිහි වූ සංවිධානයක් නොවන බවත් එය උතරේත් දකුණේත් සාමාන්‍ය දෙමල ජනතාවගෙන්
වියුක්ත වූ සංවිධානයක් නොවන බවත්ය.
මා මුලින් සදහන් කල අබ සෙවූ කතාව
මෙන් ම සත්‍ය තත්වය නම් උතුරේ යුද්ධයෙන් කිසුවෙකු නොමල ගෙයක් සොයා ගැනීම උගට බවයි.
එසේ නම් දකුණේ අප සමරන්නේ තම පුතා දුව සැමියා බිරිඳ ඥාතියා මරා දැමු සතුටට බව දැනෙන
එසේ සිතන පුරවැසියන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේම ජනතාවක් ලෙස ජීවත් වන කල එසේ කිරීමට සියලු
ජනයා නියෝජනය කරන රජයකට සදාචාරාත්මක අයිතියක් තිබේද?. සිංහල සමාජයේ පීඩනය නිසාම අවි
ගත් අපේම ජනතාවක් ඝාතනය කර ජය පැන් බී වසරක්
පාසා එය සැමරීම සැබෑ සිංහලයකුට උචිතද?
1971 දීත් 88-89 වකවානුව තුලත් දකුණේ
ද රජයට එරෙහිව අවි ගත කැරලි පැවතිය අතර එයද " තස්ත්රවාදයක්"ලෙස නිර්වචනය
කල හැකිය. එම අවස්ථා දෙකෙහිදීම සාර්ථක ලෙස
කැරලි කරුවන් ඝාතනය කරමින් සහ සිර ගත කරමින් එම උත්සාහයන් පරාජය කල රජයන් වසරක් පාසා
එය සැමරීමට ලක් කලේ නම් දකුණේ සමජය එය දරා ගනී ද?
සබවින් ම මා මෙහිදී සැමදා පුර්වාදර්ශය
ට ගන්නේ සිංහලයේ මහා වීරයා වන දුටු ගැමුණු මහා රජ තුමයි. ඔහු එළාර ගේ ඝාතනය මහා වීරක්ර්යාවක්
යයි සමරුවේ නැත. තම පරම සතුරා වෙනුවෙන් ස්මාරකයක් ඉදි කිරීමට ඔහුට ධෛර්ය තිබුනා පමණක්
නොව මතු රජවන ඕනෑම අයෙකු වුවද ඒ ස්මාරකය ලගින් ගමන් කිරීමේ දී රථ වලින් බැසිය යුතු
බවට නියෝගයක් ද පැනවීය.
සිංහල සමාජය තම මහා වීරයාගෙන් ආදර්ශ ගැනීමට සුදානමක්
නොමැති ද? දශක තුනක් පුරා පවතී මේ කුරිරු යුද්ධයෙන් සිංහල දෙමල මුස්ලිම් බේදයකින් තොරව
අපි ජාතියක් වශයෙන් ඇති තරම් පීඩා වින්දෙමු.
සිංහලයින්ගේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ කරා ද දළඳා මැදුර කරාද උතුරේ
සෑම දමලෙකු ගේ ම හිස මත බෝම්බ වැටෙන තෙක් ද මුස්ලිම් වුන්ගේ කාන්තක්කුඩි පල්ලිය කරාද
යුද්ධය ආදී ආවේය. අවම වශයෙන් යුද්ධය නිසා සිත්
වේදනාවෙන් හෝ බේරීමට සමත් කිසිවෙක් නොසිටියේය.
අතීතයෙන් පාඩම් උගත් අප සිදු කල යුත්තේ නැවත කිසි දිනෙක මෙවන් ව්‍යසනයක් ඇති වීමට ඉඩ නොතැබීම නොවේද? මා ලිපිය මුලදී සදහන් කල නවාතැන් පොළ සෙවීමේදී යාපනයේ ජනතාව අප
වෙත පෑ සුහදතාවය ඔවුන් සිංහල සමාජය සමග වෛරයකින් පසු නොවන බව තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය.
මෙහිදී දිවිපිදු සහ අබාධ වලට ලක්වූ රණවිරුවන් අමතක නොකළ
යුතු මම ද පිලි ගනිමි. යුද්ධය දශක තුනක් පුරා රණවිරුවන් පමණක් නොව යුද්ධයට සම්බන්ධ
සහ සම්බන්ධ නොමැති ලක් මවගේ දු දරුවන් විශාල පිරිසක් බිලි ගත්තේය. එබැවින් ඉදිරියේදී
එවැනි දෑ සිදුවීමට ඇති සියලුම මන් අහුරමින්
මැයි 19 වැනි දින ශ්‍රී ලාංකීය සාම දිනය බවට පත් කර මිය ගිය සියලුම ජනතාව සිහි
කරන ඔවුනට ගවුරව කරන දිනයක් කල යුතු බව මගේ හැගීමයි.
මේ වෙසක් සමයේ බුදු වදනකින් ලිපිය
අවසන් කිරීමට සිතමි.
ජයං වේරං පසවති - දුක්ඛං සේති පරාජිතෝ
උපසංතෝ සුඛං සේති - හිත්වා ජය පරාජයං
ජයග‍්‍රහණය වෛරය උපදවයි. එය දුකින්
තැවෙන පරාජිතයෙකු ඉතිරි කරයි. ජය පරාජය යන තත්වයන් දෙකම අත්හරින්නා සුවසේ සිටියි.
(ධම්මපද , සුඛ වග්ග - 5)
ඉන්දික අනුරාධ ගමගේ 19.05.2016
No comments:
Post a Comment