Thursday, September 22, 2016

තාත්තා

තාත්තා
ගාල්ල දිස්ත්රික්කයේ තම්මිටිය කියන අති දුෂ්කර ගම්මානයේ   ශ්රමය හැර නිෂ්පාදන සාධක කිසිවක් නොතිබුණු පවුලක, 1944 ජනවාරි පළමුවෙනිදා මගේ පියා උපත ලබන්නේ 5 දෙනෙකුගෙන් යුතු වූ පවුලක 4 වැනියා විදියට. තාත්තගේ තාත්තා ඕදිරිස් අප්පුහාමි උදේට උඩුමලගල වත්තේ රබර් කිරි කැපුවට දවසින් වැඩි කාලයක් ගත කලේ කිතුල් ගස් උඩ. ගිය ආත්මේ ශබ්දවිකාශන යන්ත් පූජා කරලා තිබුණු අපේ ආත්තම්මාගේ කන්දොස්කිරියාව ඉවසා ගන්න බැරි වෙච්ච තැන කිතුල් ගහකට නැගලා හොදට පදම් වෙන මුත්තා කිතුල් ගහ උඩ ඉදගෙනම "උබේ ඇස් දෙක පොට්ට වෙයන්" කියලා ගමටම ඇහෙන්න ආශිර්වාද කරනවලු. මේ පවුල වසා ගෙනතිබු රුදුරු දරිද්රතා විෂම චක්ක්රයේ යදම් බිද දමන ස්පාටකස් මේ පවුලේ 4 වැනියට ඉපදුනු කොලු ගැටයා බව පවුලේ ඈයෝ විතරක් නෙවෙයි මුළු ගම්තුලානම දැන ගත්තේ ආගම් ඉස්කෝලෙට ගිය කොලුවා ශිෂ්යත්ව විභාගේ ඉහලින් පාස් වුනු දවසෙයි. තෙල්ලඹුර රෝමානු කතෝලික විද්යාලය තමයි ආගම් ඉස්කෝලේ කියලා කාලේ හදුන්වල තියෙන්නේ. අද තෙල්ලඹුර විජය කනිටු විදුහල. අදටත් ප්රදේශයේ තියෙන සියලුම ප්රාථමික අංශ අභිබවා ඉහලින්ම වැජබෙන පාසල. ආත්තම්මාගේ කට වගේම  වැඩත් සරයි. තාත්තව වඳුරඹ සෙන්ට්රල් එකට දාන්න විතරක් නෙවෙයි හොස්ටල් එකේ නවත්තන්නත් ආත්තම්මට ධෛර්යයක් සහ දැක්මක් තිබුනා. විතරක් නෙවෙයි ශිෂ්ශාධාර ගන්න ගිය වෙලේ තාත්තගේ වයසේ ප්රශ්නයක් ඇවිත් තියෙනවා. කන අත්සන විතරක් ගහන්න දැනගෙන හිටිය ආත්තම්මා ගමේ ඉදලා කිලෝ මීටර් 22ක් දුරින් තිබුණු ගාල්ලේ කච්චේරියට ඇවිත් පොඩි සන්තෝසමක් දීලා තාත්තගේ උප්පැන්නේ වෙනස් කරන්න තරම් සමත් වුනා කියන එක හිතා ගන්නත් අමාරු කාරනාවක්. තාත්තා ශිෂ්යත්වේ පාස් වුනු දවසේ අපේ අම්මගේ තාත්තා උඩුමලගල ගම් සභාපති මහත්තයා මුළු ගම පුරාම කියව කියව ගියාලු "අන්න ඉස්කෝලේ කනත්තට ජිම් කානම් එකක් ඇදිලා" කියලා. ඉස්කෝලේ කනත්ත කිව්වේ අපේ මුත්තාගේ මහ ගෙදරට. පස්සේ කාලේ අපේ මුත්තා කිව්වේ ජිම් කානම් එක ඒගොල්ලන්ගේ පවුලටම ඇදලා ගත්තයි කියලා.
බොහෝ වනදුර්ග ගිරිදුර්ග තරණය කර පීනා සිප් සියල් සතර වඳුරඹ සෙන්ට්රල් එකෙන් ගමට එන මේ නව යොවුන් තරුණයා සහෝදරයින්ගේ සහාය ඇතිව නාකියාදෙනිය මංසන්දියේ සිල්ලර වෙළද සලක් පටන් ගන්නවා. කරවල කඩේ ලෙසින් ගැමියන් අතර ජනප්රිය වෙන මේ වෙළද සැල දියුණු වන්නේ ගාලේ සිට නාකියාදෙනිය දක්වා සිල්ලර බඩු බෙදා හරින තොග වෙලදාම් අංශයකුත් සමග. මේ අතරේ තාත්තට ගුරු පත්වීමක් ලැබෙනවා. මුදලාලි කෙනෙක් වෙනවා වගේද ගුරු පත්වීමක් කියන්නේ කියලා හිතන තාත්තා කඩේ අයියලාට බාර දීලා මනාරමට යන්නේ පත්වීමේ ලිපියත් අරගෙන. අපි දකින්නේ මුළු පලාතම හිස නවන සුන්දර සිනාවකින් නිතරම මුව සරසා ගත්ත මනා පවුරුශයකින් හෙබි ඒ ප්රියන්ත සර්. තාත්තගේ පුදුම මනුස්ස කමක් තිබුනේ. අපේ අම්ම නම් කියන්නේ ඇදන් ඉන්න වස්තරේ උනත් දන් දීලා එයි කියලා. තම්මිටියේ ඕනෑම ගෙදරක් මරණය වුනොත් දුවගෙන ඇවිත් කියන්නේ තාත්තට. සමහර මල ගෙවල් වල සියලුම වියදම් දැරුවා කියලා කියන්නේ ගමේ මිනිස්සුමයි. තාත්තා කවදාවත් සිල් ගත්තේ නැහැ. එත් තාත්තගේ පාන්ෂකුලේට වැඩම කරපු සියම් නිකායේ රෝහණ පාර්ශවයේ අනු නායකව වැඩ විසු පුජ් කදුරුපොකුණේ ධම්මාවාස හාමුදුරුවෝ අනුසාසනාව කරගගන්න බැරි වෙන තරමටම සංවේදී උනා. තාත්තගේ හරිම රැඩිකල් අදහස් තිබුනේ කුලයේ අඩු යයි සම්මත කිසිම කෙනෙකුට අපේ නිවසේදී පොඩි  පුටු ලැබුනේ නැහැ. අපේ සිංහල දේශ හිතෙශීන් 83 දී අහිංසක දෙමල වතු කම්කරුවාගේ නිවෙස් වලට පැනලා බඩු මංකොල්ල කන කොට මිනිස්සුන්න්ට කන්න බොන්න දීලා ආරක්ෂා කරන්න ඉදිරිපත් වුනේ වීරයෙකු වගේ. තාත්තා පොහොසත් වුනේ මනුස්සකම අතින් විතරක් නෙවෙයි. වෙළද ව්යාපාර වෙන අය යොදවා කරන්න ගියත් ඒවා සාර්ථක නොව්නත් තාත්තා සැලකිය යුතු තරමේ තේ සහ රබර් ඉඩම් හිමි කරුවෙකු වුනා. මේ දවස් වල කළමනාකරණයේ උගන්වනවා තර්ජන (threats ) අවස්තාවන් (opportunities ) බවට පරිවර්තනය කර ගත යුතු කියලා. මට එකේ ප්රායෝගික අත්දැකීම ලැබුනේ තාත්තට 80 ජුලි මහා වැඩවර්ජනයේදී රැකියාව අහිමි වුනාට පස්සෙයි. දවස් වලදී තමයි අපේ චුටි මල්ලි හබ්බු වුනේ. වින්නබු අම්මට දෙන්න රුපියල් 100 ක් ඉල්ලා ගත්තේ ලග ගෙදරකින් කියලා අම්මා කියනවා. එත් තාත්තා පසු බැස්සේ නැහැ. තාත්තා ගස් කපලා මොරටුවට පැටෙව්වා. එක ගහක ගන්න පර්මිට් එකෙන් ගස් 10 ක් විතර පටවන්න තාත්තා දක්ෂ වුනා. මුදලින් අපි පදිංචි වෙලා හිටිය අක්කර 8 පමණ ඉඩම සම්පුර්නයෙනම තේ සහ රබර් වගා කළා. මාස හයකින් තාත්තට ආයෙත් රස්සාව ලැබුනා. එක හදා ගන්න ගිය ගමනේදී අද්යාපන කාර්යාලයේදී පින් බත් නිලදාරියෙක් කියපු කතාවකට  තාත්තා ෆයිල් එක මෙසේ උඩට විසි කරලා ඔහුට අමතක නොවෙන සත්තමක් දාල තියෙනවා. ඊට පස්සේ ඔහු එක අත්සන් කලාලු. තාතගේ මුල්ම දේශපාලනය වුනේ සමසමාජය. එත් බද්දේගම හිටපු මන්ත්රී වගේම ඇමති නීල් අල්විස් මහත්තයා සමසමාජේ ඉදලා ශීලන්කා එකට එනකොට තාත්තත් ශ්රී ලංකා එකට ආවා. අසු ගණන් වලදී එක මාසයක් ඇතුලත තාත්තා හතර තැනකට මාරු කළා. එත් ගෙදර ඉදලා යන්න පුළුවන් තැනක් ලැබෙන කන් තාත්තා සටන ඇත හරියේ නැහැ. පුරුෂ දම්ම සාරතී ගුණය පුදුමාකාර ලෙස ඔහුට පිහිටා තිබුනා. ඉහල නිලදාරීන් සමග කෙතරම් ගැටුනත් ඔවුන්ගේ සිත් දිනා ගැනීමට ඔහුට පුදුම හැකියාවක් තිනුනා. මේ සිද්දිය වෙනකොට තාත්තා සේවය කලේ  නාකියාදෙනිය ඉස්කෝලේ. කලාපීය මලල ක්රීඩා උළෙලකදී නාකියාදෙනිය විදුහලේ සිසුවෙකුට අසාදාරනයක් සිදු වූ බව තාත්තා පැමිණිල්ලක් කළා. එත් අධි මාන්නයෙන් හිස උදුම්මවා ගෙන සිටින කලාප අද්යාපන අද්යශිකාව එය තුට්ටුවකටවත් මායිම් කලේ නැහැ. දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් වෙද්දී තාත්තා  කිව්වා එසේ වුවහොත් ක්රීඩා උළෙල පවත්වන්නට ඉඩ නොදෙන බව. අධ්යාපන අද්යක්ෂිකාව එයට සරදම් සිනහවකින් පිළිතුරු දුන්නා. කාලේ  නාකියාදෙනුට කනිටු විදුහල. පොඩි ඉස්කෝලයක්. එත් ඇයට අදහා ගන්න බැරි විදියට නාකියාදෙනිය ඉස්කෝලේ ළමුන් විතරක් නෙවයි තෙල්ලඹුර දුටු ගැමුනුවේ පොල්පාගොඩ ධර්මපාලේ වැනි ප්රද්ශයේ  ප්රධාන පාසල් ඇතුළු ඇතුළු පාසල් රාශියල ළමුන් පිටිය මැද  වාදී වී විරෝධය පල කලේ තාතතා එහෙම කරන්න කියලා නෙවෙයි. අවසානයේ අධ්යශිකාව පරාජය බාර අරගෙන ක්රීඩා උළෙල නවත්වලා පිටත් වෙලා යන විට ළමයි පෙරහරින් හූ කියාගෙන පස්සෙන් ගියා. පෙරහරේ මුලින්ම හූ කියාගෙන ගියේ අපේ තාත්තා. මේ 80 දශකයේ JR  ජයවර්ධනගේ කාලේ. කාලේ අධ්යාපන අධ්යක්ෂකලා පත්කළේ දේශපාලන හයියට. මේ කියන අධ්යක්ෂක වරියත් එහෙමයි. ඇය කෝපයෙන් පුපුරමින් ගියේ යක්කලමුල්ල පොලීසියට. ඇය සිය දේශපාලන බලය පාවිච්චි කරමින් නියෝගයක් ලබා ගත්තා මේ කඩාකප්පල් කාරී ගුරුවරයා අත් අඩංගුවට ගන්න. අවි ආයුධ සහිතව යක්කලමුල්ල පොලීසියේ නිලදාරීන් පුරවා ගත් ජීප් රියක් වහාම ක්රීඩාපිටිය වෙත පැමිණුනා. එත් ඔවුන් ආපසු හිස් අතින් පොලීසිය වෙත පැමිණෙනු දුටු මූලස්ථාන ප්රදාන පොලිස් පරීක්ෂක වරයා අඩි පොලවේ හප්පමින් නිදහසට කරුණු විමසුවා. එහිදී එම කණ්ඩායමට නායකත්වය දුන්න සාජන්ට් මහත්තයා කදුළු සලමින් පැවසුවාලු "සර් අපි ඇරෙස්ට්  කරන්න ගියේ ප්රියන්ත අයියව" කියලා. JR ගේ පොලීසියවත් තාත්තට  අත තිව්වේ  නැහැ. ඔහුගේ මානව සබදතා ගැන අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඔහු තැලෙන පෑගෙන පොඩි මිනිසුන් වෙනුවෙන් නැගී සිටියා. එත් ඔහුව ආරක්ෂා කිරීමට ශක්තිමත් සබදතා ඔහු සතුව තිබුනා.
පොලීසියෙන්  ඔහුව අත් අඩංගුවට ගත්තේ නැත්තේ බයට නෙවෙයි. පොලීසිය සමග පවා ඔහු දැඩි මිත්රත්වයක්  පවත්වා ගත්තා.  OIC මහත්තයාගේ හොදම යාලුවා වුනෙත් තාත්තා. සබදතා වලින්  ඔහු අසරණ  මිනිස්සු  රාශියකට  උදව්  කළා. නිසාම  සමහර පුද්ගලයින්ගේ වෛරයට ඔහු පත් වුනත් එළිපිට ඔහුට කිසිවක් කියන්න කිසිවෙක්  ඉදිරිපත් වුනේ නැහැ. මට මතකයි වත්තේ දෙමල ජාතික කම්කරුවෙක් හිටියා පෙරිය සාමි කියලා. මනුස්සයා ප්රදේශයේ ටිකක් බලවත් සිංහල විආපාරිකයෙක් සැමගේ මොකක් හරි ආර්ව්ලක් ඇති කර ගත්තා. මේ කාලේ ඕනෑම දෙමල ජාතිකයෙකුට "පර දෙමළා කියලා" කතා කරලා ජාති මානේ පෙන්නපු කාලේ. අර සිංහල මනුස්සයා පෙරියසාමිට විරුද්දව පොලීසියේ පැමිණිල්ලක් දැම්මේ  පොලීසිය ලවා ඔහුට හොද සලකවන්න. පෙරියසාමි තාත්තගේ උදව ඉල්ලන්න අපේ ගෙදර ආව බව දන ගත්තු අපේ ජයසේන බාප්පා, කියන්නේ තාතගේ අයියා පෙරියසාමි වෙනුවෙන් ඉදුරිපත් නොවෙන ලෙස දන්වමින් අපේ ගෙදරට පණිවිඩයක් එව්වේ " මිනිස්සු අපිත් එක්ක දාස් ගණන් වලින් ගනුදෙනු කරන අය" යනුවෙන් අනිත් පාර්ශවය ගැන සහතිකයක් දෙමින්. එත් තාත්තා ජයසේන බාප්පාගේ ඉල්ලීම පයිසේකටවත් මායිම් කරන්නේ නැතිව පෙරියසාමි වෙනුවෙන් ඉදිරිපත් වුනේ ජයසේන බාප්පා ගේ හොද හිත වසර ගණනාවකට පලුදු කර ගනිමින්.
එත් මේ සියල්ලටම වඩා අතිශයින් වැදගත් දෙයක් දරුවන් වූ අපට තිබුනා. තමයි තාත්තගේ තිබුණු අසම සම ආදරය. 80, 90 කාලයේ බොහෝ විට පියවරුන් තම දරුවන් ගෙන් ඈත්ව හිටියේ. දරුවන්ට කෙතරම් ආදරය වුනත් තාත්තා කියන පුවුරුශය තුල ආදරය සගවලා තමයි තිබුනේ. එත් අපේ තාත්තා ආදරය නොසගවා පෙන්නුවා. තාත්තා නිදා ගන්න කොට අග උඩට පැනලා තාත්තව බදාගෙන නිදා ගන්න අපිට අවසර තිබුනා. ඕනෑම දෙයක් යාලුවෙකුට වගේ තාත්තට කියන්න පුළුවන් කම තිබුනා. සමහර දේවල් අම්මට කියනවට වඩා ලේසියෙන් තාත්තට කියන්න හැකියාව තිබුනා. තාත්තා අපිව විශ්වාශ කළා. තාත්තගේ හුරතලේ හින්දා ළමයි නම් කවදාවත් හදා ගන්න බැරි වෙයි කියලා අපේ අම්මගේ පාර්ශවයේ නෑයෝ සියල්ලන්ම චෝදනා කළා. ඒවගේම තාත්තා හරිම සංවේදීයි. අපේ දඩබ්බර වැඩ ගැන සමහර වෙලාවට අම්මට කලින් කදුළු සැලුවේ තාත්තා. අපි අපේ දේශපාලනේ වෙනත් මාවතක තෝරා ගන්න විට තාත්තාත් ඒ දේශපාලනයම තෝරා ගත්තේ දශක ගණනාවක් හිටිය පක්ෂේ මිතුරන් විරසක කර ගනිමින්. තාත්තා එහෙම කලේ අපේ දේශපාලනේ නිවැරදියි කියලා අදහුවාට වඩා අපිට තිබුණු ආදරේ නිසා. අපේ පවුලෙන් අද මහා ගෙදර පදිංචි වෙලා ඉන්නේ අපේ දෙවැනි මල්ලි. ප්‍රදේශයේ ජනප්‍රිය ගුරුවරයෙක් වගේම නීතිඥයෙක්. මල්ලි කියනවා "තාමත් අපි තැනකට ගියාම අදුන්වල දෙන්නේ මේ ප්‍රියන්ත සර් ගේ පුතෙක් කියලා. ඒ කියන්නේ තාමත් මිනිස්සු අපිට සලකන්නේ තාත්තා නිසා". මේ පුංචි කතාවෙන් තාත්තා ගැන තියන මේ සටහන අවසන් කරන්න හිතනවා. අපේ පවුලේ සිසල්ලන්ම ඒ දිනවල විකල්ප දාරාවේ දේශපාලන පක්ෂයක ක්‍රියාකාරීන්. දවසක් රෑ අපේ තුන්වෙනි මල්ලි නාකියාදෙණියේ පෝස්ටර් අලවන්න ගිහින් තියෙනවා. නාකියාදෙනිය කියන්නේ ඒ කාලේ පාලක පක්ෂයේ බලකොටුවක්. පෝස්ටර් ගහමින් හිටිය අපේ කට්ටිය බලය හිමි පක්ෂයේ ආදාර කරුවන්ට කොටු වෙලා ඔවුන් අපේ අය‍ට පහර දෙන්න ඇවිත් තියෙනවා. ඒ වෙලාවේ අපේ මල්ලි ඉදල තියෙන්නේ මෝටර් බයික් එක උඩ. එතන හිටිය කෙනෙක් " බයික් එකේ ලයිට් නිවාපන් යකෝ" කියලා මල්ලිට තර්ජනය කරලා තියෙනවා. මල්ලි බයික් එකේ ලයිට් නිවපු නැති නිසා මිනිහා මල්ලිට ගහන්න පැනලා තියෙන්නේ බයික් එකේ ලයිට් කුඩු කරන්න තැත් කරමින්. එත් ක්ෂණයකින් එතන හිටිය වෙනත් පුද්ගලයෙක් ඔහුට පවසා තිබෙනවා " මේ ඉන්නේ ප්‍රියන්ත සර් ගේ පුතෙක්" කියලා. මල්ලිට ගහන්න පැන්න පුද්ගලයා "බුදු මහත්තයෝ මට සමාවෙන්න" කියමින් වැද වැටිලා තියෙනවා. ඔහු අසරණ වූ විට  තාත්තා ඔහුට උදව් කරපු හැටි ඔහු පවසලා තියෙන්නේ කඳුළු සලමින්. තාත්තා ඉක්මනටම ජීවිතයෙන් සමුගෙන ගියේ මීවිතට ඔහු දැක්වූ ආදරය නිසාමයි. තාත්තට අවසාන ගවුරවය දක්වන්න ආපු බොහෝ දෙනෙක් ඔහුගේ නිසල දේහය ඉදිරිපිට දනගහලා වැන්දා. බොහෝ අය අපි අදුනන්න්නේ නැති වුනත් හැමෝටම තාත්තා තමන් වෙනුවෙන් කල උදවුවක් ගැන කියන්න දෙයක් තිබුනා. තාත්තට අපිව ලොකු සල්ලි කාරයෝ කරන්න තිනු වුවමනාවට වඩා තිබුනේ හොද අද්යාපනයක් දීම. ඔහු කිසිම දෙකට අපිට බල කලේ නැහැ. නිදහසේ තීරණ ගන්න දුන්නා. තාත්තගේ ඒ දැක්මේ ප්‍රතිපලයක් විදියට අපේ පවුලේ පස් දෙනාම විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගත්තා. තාත්තා අපෙන් සමු අරන් අවුරුදු හතක් ගතවුනත් අදත් තාත්තා අපි ලග ඉන්න බව දැනෙනවා. මේ දීර්ග සසර ගමනේ හීනෙන් නෙවෙයි සැබවින්ම අපි ආයේ හමුවෙයි තාත්තේ. .....

No comments:

Post a Comment