Thursday, September 22, 2016

ලැජ්ජයි ....නින්දිතයි... කැතයි..

ලැජ්ජයි ....නින්දිතයි... කැතයි.. 
සුනිල් අයියාගේ උපහාර උළෙල මේ වන විට විවිධ කෝණ මාන වලින් වර නැගෙමින් පවතී. එහිදී පෙරුටු ගාමින් අනවශ්‍ය ලෙස අවස්ථා කීපයකදීම ඉස්මතු වීමට සන්විධායිකාව ඉඩ දී තිබුනද  සමස්තයක් ලෙස ගත් කල උත්සවය අති සාර්ථකය. එක දිනක් එකම මග ගිය අද විවිධ මන් මාවත් හි ගමන් කරන විවිධ අය  එක ම තැනකට කොටු කල ඒ හොරා කීපය බෙහෙවින්ම සුන්දරය. සුනිල් අයියා ගේ දෑසින් ගලා ගිය කඳුළු බිඳු අල්ලා ගෙන "ඇයි මේ විප්ලව වාදීන් අඬන්නේ? " යැයි අසමින් ඔහුට සමච්චල් කරන පොස්ටුද මම දුටුවෙමි. සුනිල් අයියා විප්ලව වාදියෙක් දැයි මම නොදනිමි. එහෙත් ඔහු අති සංවේදී සුන්දර මිනිසෙක් පමණක් බව දනිමි. ඉතින් මාවතේ සිගමන්  යදින දරුවෙක් මවක් පියෙක් දකින විට දෑස් තෙත්වන මිනිසා ගේ දෑසින් ඊයේ කඳුළු නොවගුරුනේ නම් මම පුදුමයට පත් වෙමි.
උත්සවය අවසානයේ අවන් හලට ගොඩවූ මටත්, පීටර් අයියාටත්, වන්නි අයියාටත් හෙට්ටි අයියාටත් ලක්දිව පටන් ගත් දිනය මෙන්ම ලක්දිවට සීල් තැබූ දින සිදුවූ කිසිවෙකුත් නොදන්නා අතිශයින් රහසිගත කතා බෙදා දුන් තිබිරි අයියා නිසා දවස තවත් සුන්දර වුයේය.
මේ මොහොතේ ශ්‍රී ලාංකීය දේශපාලන භුමිය තුල සිටින ගුජුබ්සාජනකම පුද්ගලයා කවුදැයි කෙනෙක් මගෙන් විමසුවහොත් මම නොපැකිලව මොහොතින් දෙන පිලතුර "විමල් වීරවන්ශ" යි. එහෙත් කෙතරම් තමන්ට නොගැලපෙන ස්ථානයක් පිරිසක් සහ අවස්තාවක් වුවද සුනිල් අයියා වෙනුවෙන් පැමිණ යන්නට ඔහුට තිබු ආත්ම ශක්තිය ට ප්‍රසංසා කල යුතුය. ඩලස් අලහප්පෙරුම ගැන ද එසේමය්. වේදිකාවේ ඉදිරියට කැපී පෙනෙන්නට නො ආවද  නන්දන ගුණතිලක උත්සවය ආරම්භයේ සිට අවසානය දක්වාද රැදී සිටියේය.
එහෙත් මගේ බලවත් කම්පනයටත් විමතියටත් පිළිකුලටත් හේතු වුයේ ජ.වී.පෙ නායක මට්ටමේ කිසිවෙකු උත්සවය සදහා පැමිණ නොසිටීමය. සුනිල් අයියා JVP කාරයෙකු නොවේ එහෙත් කිසිවෙකුත් නොමැති යුගයක තුවක්කු කට අභියස හිඳ ජ.වි.පෙ වෙනුවෙන් පෙනී සිටි පත්තර කාරයෙක් විය. තමන්ට මේ රටේ ඉතිහාසය ලියන්නට ලැබුනහොත් එහි විශාලතම පරිච්චේදය වෙන් කරනුයේ රෝහණ විජේවීරට බව කි පත්තර කාරයා වෙනුවෙන් වෙන් කරන්නට කාලයක් කිසිදු ජ.වී.පෙ නායකයෙකුට නොතිබුනේය.
මට ජ.පු.රේ සිටි කාලයේ සගයෙක් කී කතාවක් සිහියට නැගෙයි. අප සමග වැඩ කර ඉවත් වූ සහෝදරයෙකුට පක්ෂයෙන්  එකල දැඩි සේ විවේචන හා අරියාදු කම් එල්ල විය. මමත් මගේ ක්රියාකාරී සගයාත් මේ ගැන සාකච්චා කරමින් සිටින විට හාශ්යට බර මගේ සගයා සිනාසෙමින් කිව්වේ ' මුන්ට කරන කන් හොදයි බන්" කියාය. ඊයේ සිදුවූ එම සිද්දියෙන් මම කනගාටුවටත් සතුටටත් පත් වුනෙමි. කනගාටුව නම් ජ.වී.පෙ නායකයින්ගේ උද්දච්ච කමයි. සතුටට කරුණ නම ජ.වී.පෙ මෙතරම් පහත තත්වයකට ඇද වැටීමට පෙර අප ඉන් ඉවත් වීමයි.
ජ.වී.පෙ නායකයිනි... මට කීමට ඇත්තේ මෙපමණයි  ලැජ්ජයි ....නින්දිතයි... කැතයි.. 

- ඉන්දික අනුරාධ ගමගේ - 11.03.16 

No comments:

Post a Comment