Thursday, September 22, 2016

සුනිල් මාධව ප්‍රේමතිලක ශ්‍රී ලංකා ධරණී තලය තුල බිහි වූ අදීනතම මාධ්‍යවේදියා

"ප්‍රෙමදාස අපි සුදානම්" මේ උද්දෘතය ලාංකේය පුවත්පත් ඉතිහාසයේ සංදිස්ථානයක්  කරමින් හිරු පුවත් පතේ ප්‍රධාන සිරස්තලය බවට පත් වන්නේ සුනිල් මාධව ප්‍රේමතිලක නම් මිනිසා  ලෝක ජනමාධ්‍ය වපසරිය තුල අද්විතීය පුවත්පත් කලාවේදියෙක් බවට පත් කරමිනි. මේ වකවානුව "මරණය" නීති ගත කර තිබු යුගයක් බව බොහෝ දෙනාට අමතකව ගොස් ඇති සේයාවක් පෙනේ.  මහපාරේ දුවන බල්ලන් මිනී ඇටකටු කටින් රැගෙන යන දර්ශන සුලබ, මිනිසුන් මරා දැමීමට පෙර ගුද මාර්ගයට PVC බට බස්සවා ඒ තුලින් කටු කම්බි යවා කටු කම්බියෙන් බඩවැල් පටලවා එලියට ගත යුගයක් විය. මරණයට වඩා වද බන්ධන සාහසික විය. එහෙව් යුගයක "ප්‍රේමදාස අපි සුදානම්" යන වැකිය අද " මෛත්‍රී අපි සුදානම්" සමග  කිසිසේත් සමකල නොහැකිය. ඉන් නොනැවතුන සුනිල් මාධව ඔහුට එරෙහි නඩු තීන්දුවක් නිර්දය ලෙස විවේචනය කලේ "මට එයටත් වඩා කනගාටු පුවත්පත් කලාව ගැන කිසිවක් නොදන්නා නඩු කාරයෙකුගෙන් පුවත්පත් කලාව ගැන අවවාද ගන්නට සිදුවීමයි" යනුවෙන් ලියමිනි. එදා හිරිමල් යොවුන් වියේ සිටි අප ඒ තුලින් ලද ආශ්වාදය අද මහා ගවුරවාන්විත තිගැස්මකට ලක් කරන්නේ එම ප්‍රකාශයේ බරපතලකම එදා නොවටහුනත් අද හොදින් වැටහෙන නිසාමය. එම පුවත්පතේම එම නඩු තීන්දුව හාස්‍යයට ලක් කරන්නේ ඔහු සිහිනයක් දකින බව ලියමින් එදා උසාවියේ වූ සියල්ල සිහිනය තුලට ගොනු කරමිනි.
සුනිල් මාධව මම කිසිදිනක ලගින් ඇසුරු කර නැත. මා ඔහු සමග පවුද්ගලිකව කතාකර ඇත්තේ එකම එක දවසකි. ඒ 89 සංහාරයෙන් පසු පැවැත්වූ පළමු විමුක්ති ගී දර්ශනය එල්පිලිස්ටන් රගහළේ පැවැත්වූ  දිනනයි. එහි සංවිධායකයෙකු වූ මා හට ප්‍රසංගය  අවසන් කොට මනොරා සමග පිටව යන සුනිල් අයියා දක්නට ලැබුණි. ඒ වන විට  සුනිල් අයියා "හිරු” තුල නොසිටි අතර "හිරු" විනාශ කර අවසන් ද යන්න මගේ මතකයේ නොමැත. සුනිල් අයියාට එරෙහිව විවිද චෝදනා එල්ල වන සන්දර්බය තුල වුවද මගේ මනසේ ජීවත් වන ඒ මහා වීරයාට කතා නොකර සිටීමේ ධෛර්යයක් මාතුල නොතිබුණි. "කොහොමද සුනිල් අයියා මොකද මේ දවස් වල සද්දයක් නැත්තේ" යන පැනයට කජුකිරි කොල්ලෙක් වූ මට "මචන්" යනුවෙන් ආමන්ත්රණය කරමින් කතා කල හැටි මට අදත් මතකය.
සුනිල් අයියා ගැන මේ සටහන ලියන්න ට මා පෙලබවුයේ ප්‍රේමදාස යුගයේ ඔහුගේ අභීත හඬ නැගුම රාජපක්ෂ රෙජීමය තුල තිබු ඔහුගේ නිහඩතාවයෙන් වසා දමන්නට බොහෝ අය උත්සාහ දරන නිසාවෙනි.
ප්‍රේමදාස යුගයේදී මරණය හා වදහින්සනය දෘශ්‍යමාන වූ අතර රාජපක්ෂ රෙජීමය තුල මරණය හා වදහින්සනය දෘශ්‍යමාන  නොවිණි. එක්නැලිගොඩ මරා දමන්නට පෙර ඔහුට  දුන් වද හිංසන ගැන අදටත් අප  නොදන්නේය. සාපේක්ෂව ගතගොත් මර්දනය ට මුහුණ දීම අසීරු වුයේ රාජපක්ෂ රෙජීමය තුල බව මමද පවුද්ගලිකවම අදහමි. මන්දයත් එදා ප්‍රේමදාස පාලනයට අභියෝග කල මාධ්‍යවෙදීන්  හා  ප්‍රගතිශීලී ජනතාව "දේශප්‍රේමීන්" වූ අතර රාජපක්ෂ රෙජීමයට අභියෝග කල මාධ්‍යවේදීන් හා ජනයා " දේශද්‍රෝහීන්" විය. රිචඩ් සොයිසා මිය යන්නේ වීරයෙක් ලෙස වන අතර  එක්නැළි ගොඩ අතුරු දහන් වන්නේ දේශද්‍රෝහී සිංහල කොටියෙකු ලෙසය. ඒ නිසා ලසන්ත ගේ ඝාතනයත් එක්නැළි ගොඩ ගේ අතුරු දහන් වීමත් සමාජය තුල සාදාරනීකරණය විය. රාජපක්ෂ රෙජීමය පෙරලා අවසන් නමුත් සමාජ කතිකාව තුල අදටත් එම මතය යෙහෙන් වජබෙන්නේය. ඉදින් රාජපක්ෂ රෙජීමයට එරෙහිව නැගිටීම ප්‍රේමදාස යුගයට වඩා භයානක හා අසීරු කටයුත්තකි.
එහෙත් නොපෙනෙන මරණය ට හා නොපෙනෙන වද හිංසනයට එරෙහිව නැගිටීමට වඩා  පෙනෙන මරණයට හා පෙනෙන වද හිංසනයට එරෙහිව නැගිටීමට වඩාත් ධෛර්ය හා චිත්ත ශක්තිය අවශ්‍ය වන්නේය. අනෙක් කරුණ නම් එදා ප්‍රේමදාස පාලනයට එරෙහිව සුනිල් මාධව නැගී  සිටියා මෙන් රාජපක්ෂ රෙජීමයට එරෙහිව නැගී සිටියෝ කවරහුද? එසේ නැගී සිටි අතලොස්සක් වූ බව සැබෑ නමුත් ඒ සියල්ල විවිධ පටු පවුද්ගලික හා සංවිධාන අභිලාෂයන් තුල සිරවී කොටු වී සිටියේය. සුනිල් මාධව අදටත් ප්රාතාපවත්ව වජබෙන්නේ ඔහු තුල කිසි විටක පටු පවුද්ගලික හෝ පටු කණ්ඩායම් අභිලාෂයන් නොතිබුණු නිසාවෙනි.
රාජපක්ෂ රෙජීමය තුල සුනිල් අයියා ගේ නිහඩ බව මටද ප්‍රශ්නයක් වූ නමුත් සුනිල් මාධව ට බොහෝ දුරින් හිද බලන සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස මම ඒ තත්ත්වය විහ්රහ කර ගන්නේ මෙසේය.
ප්‍රේමදාස යුගයේ අරගල කරන විට හා ඊට කලින් යුගවල දී සුනිල් මාධව තනිකඩයෙකි. එහෙත් රාජපක්ෂ රෙජීමය තුල ඔහු විවාහකයෙකු පමණක් නොව පියෙකුද වන්නේය. "පියෙක්" යන සංකල්පය තුල කොටුවන ඕනෑම විප්ලවවාදියෙකු ගේ පසුබෑමක් ඇති වීම බොහෝ දෙනා අත්විදි සත්‍යයකි. අනෙක් කරුණ වන්නේ රාජපක්ෂ රෙජීමය ආරම්භ වන විට සුනිල් මාදවයන්ගේ වයස අවුරුදු 60 ඉක්මවා යන්නේය. තරුණ ජවය තුල තුබූ ශක්තිය හා ධෛර්ය ඔහු තුලින් ගිලිහෙන්නට එයද කාරනාවක් වන්නට ඇත. තරුණ කල වීරයින් වූ එහෙත් වියපත් කල කවටයින් වූ විප්ලවීය නායකයි ද අප දැක ඇත්තෙමු. මා එසේ සදහන් කලේ කිසිවෙකුට අපහාස කිරීමට නොව වියපත් වීම තුල ඇති වන මානසික ආතතිය පෙන්නුම් කිරීමට පමණි. ඊටත් වඩා මා දකින්නේ ඔහුගේ හුදකලා වීමයි. ජයලාල් රෝහණගේ ලිපියකින් කියවෙන්නේ ඔහු ජ.වී.පෙ. ආණ්ඩු බලයේ සිටින කල, ජ.වී.පෙ නායකයෙකුගෙන් සුනිල් මාධව ගැන ඇසු  කල "එයා ඩ්‍රින්ක්ස් ගන්නවනේ" යනුවෙන් පැවසු  බවයි. සුනිල් මාදව ජ.වී.පෙ තමුන්ගේ වැඩ සදහා යොදා ගත්තේ ඔහු ඩ්‍රින්ක්ස් ගන්නා බව නොදැන දැයි ඇසු විට ජ.වී.පෙ ඉහල පෙලේ නායකයා ඔහුට දෙන පිළිතුර වන්නේ "මේකයි සහෝදරයා මේ ක්‍රමය ඇතුලේ අපි එයාව පාවිච්චි කළා". යන්නයි.
තමුන් පාවිච්චි කර ඉවත විසි කරන ලද බව නොවැටහෙන්නට සුනිල් අයියා මන්ද බුද්ධිකයෙකු නොවේ. මා සිතන විදියට ඒ කලකිරීම ඔහු තුල කම්පනයක් හා බිඳ වැටීමක් ඇති කරන්නට බෙහෙවින් දායක වන්නට ඇත. 
මෙයට අමතරව අප නොදන්නා සාදාරන  කරුණු කාරනා බෙහෙවින් තිබීමට පුළුවන. නමුත් නැවත නැවතත් මේ ලිපිය තුල මා හට අවදාරණය කල යුතු වන්නේ එදා සුනිල් මාධවගේ අභීත හඬ නැගීම මෙදා ඔහුගේ නිහඬ බවෙන් ඔතා විසි කිරීමට කිසිසේත් ඉඩ දිය යුතු නැත.

ඔව් සුනිල් මාධව ප්‍රේමතිලක ශ්‍රී ලංකා ධරණී තලය තුල බිහි වූ අදීනතම මාධ්‍යවේදියා ....මා පවුද්ගලිකව නොහදුනන ඒ වීරයාට ගරු කිරීමට මම නොවැරදීම හෙට මහජන පුස්තකාලයට  පැමිනෙමි. ඔබත් එන්න. .... 09.03.16

No comments:

Post a Comment