Thursday, September 22, 2016

රට අගාධයට රැගෙන යන්නේ දේශපාලකයින් ද රාජ්‍ය නිලධාරීන් ද

පසුගිය දිනෙක ගිරිතලේ වන සංරක්ෂිතයේ සංචාරයක නිරත වීමට අපට හැකි විය. සංචාරය අවසන් කොට නැවතත් වනජීවී කාර්යාලය කරා පැමිණෙන විට සවස 6.00 පසුවී තිබුණු අතර මමත් දරු දෙදෙනාත් බිරිදත් වැසිකිලිය තිබු ස්ථානයට ගියෙමු. එහිදී අපට දැක ගත හැකි වුයේ එහි කාන්තා අංශයේ සියලුම විදුලි බුබුළු අක්‍රීය බවයි. විදේශිකයින් විශාල සංඛ්‍යාවක් එහි සිටි අතර හාත් පස පිහිටි වනය නිසා ස්ථානය දැඩි අදුරු බවක් ඉසිලුවේය. ඔවුන් දැඩි අසීරුතාවයකට මුහුණ දෙද්දී ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් මම ඊට වඩා බෙහෙවින් පහසුතාවයටත් ලැජ්ජාවටත් පත් වුනෙමි. එම වනෝද්‍යානයට ඇතුවීමට විදේශිකයෙකුගෙන් අයකරනු ලබන මුදල ඩොලර් 15 ක් වන අතර එයට වැට් බද්ද එකතු වූ පසු එය ශ්‍රී ලංකා මුදලින් රු.2465 ක් වේ. වැසිකිලියද තිබුනේ අපිරිසිදු තත්ත්වයෙනි.
අප බොහෝ විට රට මේ තත්ත්වයට අද දැමීම ගැන 1948 සිට රට පාලනය කල සියලුම දේශපාලකයින්ට දෙස් දෙවොල් තබමු. ශාප කරන්නෙමු. එහෙත් රට මේ අගාදයට වැටීමට වග කිව යුතු වන්නේ දේශපාලකයින් පමණද? මා සිතන ආකාරයට ඊට දේශපාලකයින්ටත් වඩා වග කිව යුතු වන්නේ නිලදාරී පැලැන්තියයි. දැන් මේ සිද්දීයෙදී අපි දෝශාරෝපනය කල යුත්තේ වනජීවී ඇමතිටද ?, ගිරිතලේ ප්‍රාදේශීය දේශපාලකයින්ටද? එසේත් නැත්නම් පොලොන්නරුවෙන් බිහි වූ ජනාධිපතිවරයාටද? මේ කිසිවෙක් ඍජුව මෙයට වග කිව යුතු නොවේ. මෙය තනිකරම අකාරය්ෂ්ම නිලදාරීන් ගේ වගකීම් පහර හැරීමකි.
මේ සටහන ලිවීමට මා පෙලබ වූ කරුණක් තිබේ. අද මා හමු වීමට ජපන් ජාතික ආයෝජකයෙකු සමග ශ්‍රී ලාංකික ගනුදෙනු කරුවන් තිදෙනෙක් පැමිණියහ. ඔවුන් ගේ කාර්යය යුහුසුළුව ඉටු කර දුන් නිසා ඔවුන් ඉතා කුළුපගව මා සමග අදහස් හුවමාරු කර ගැනීමට පටන් ගත්තේය. ඔවුනට අනුව බිලියන ගණනක ආයෝජනයක අනුමැතිය සඳහා මාස ගණන් ගතවී තිබිණ. අදාල අනුමැතිය සඳහා ආයතන 18 ක් පමණ සහභාගී විය යුතු අතර ඔවුන් එක දිනකදී රැස් කර ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් බවට පත් වී තිබිණ. වියට්නාමයේ විශාල ආයෝජන සහිත ජපන් ජාතික ආයෝජකයා දැඩි සේ කලකිරීමට ලක්ව සිටියේය.
මට මෙවැනි උදාහරණ අනන්තවත් ඇත. නිලදාරීන්ගේ වරදින් ආපසු හැරී ගිය බිලියන ගණන් ආයෝජන ගැන මා දනිමි. අපි දේශපාලකයින් කොමිස් කාක්කන් බව කෑ ගසා කියමු. එවිට මා හට ඇති ප්‍රශ්නය නම් රාජ්‍ය නිලදාරීන් සුරතල් පූස් පැටවුන්ද යන්නයි. එවිට මා ඔබට පවසන්නේ රේගුව, සුරාබදු සහ මෝටර් රථ දෙපාර්තුමේන්තුව සිහියට නගා ගන්නා ලෙසයි. එතරම් දුර නොගොස් ගමේ ග්‍රාම නිලදාරී හෝ පොලීසියේ මහත්වරුන් සිහියට නගා ගත්තත් ගැටළුවක් නැත. රජයේ සියලුම ආයතන පාහේ අල්ලසින් වැසී ගොස් නැද්ද? නිවාසයක සැලැස්මක් අනුමත කර ගැනීම සඳහා අල්ලසක් ලබා නොදුන් කෙනෙක් සිටීනම් පුදුමයක් නොවේද?
මේ දිනවල වරින් වර අත්අඩංගුවට ගන්නා දේශපාලකයින් අත් අඩංගුවට පත්වී බන්ධනාගාර ගත කරනවාත් සමගම ඔවුන් දැඩි සේ අසාද්‍ය බව පවසමින් සහතික නිකුත් කරන්නේ රජයේ වෛද්‍ය නිලදාරීන්ය. විනිසුරුවෙකු සම්බන්ධයෙන් නීතිය වෙනස් කරන්නේ අධිකරණ නිලධාරීන්ය.
මොන අතින් විමසා බැලුවද රට අගාධයට ඇද දැමීමට විශාල වශයෙන් දායක වී ඇත්තේ රාජ්‍ය නිලධාරීන් බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇති සත්‍යයක් නොවන්නේද? මා ගේ අනුමානයට අනුව රට මේ අසංවර්ධිත හා දුක්ඛිත තත්ත්වයට 60% ක් පමණ වගකිව යුතු වන්නේ රාජ්‍ය නිලධාරීන් වන අතර දේශපාලකයින් වගකිව යුත්තේ ඉතිරි 40% ට පමණි.
මේ නිලදාරීවාදය පරාජය නොකළ හැකිවීමේ වගකීම දේශපාලකයින් මත පැට නොවන්නේදැයි කෙනෙකුට තර්ක කල හැකිය. ඒ සඳහා වැඩි දුර යා යුතු නැත. මා මේ කරන කරුණු ගොනු කිරීම අද ජනාධිපතිවරයා, අගමැතිවයා හෝ වගකිවයුතු දේශපාලන නායකයෙකු කලේ නම් හෙට මේ රටේ ඇතිවන තත්ත්වය කුමක්ද? අදාළ දේශපාලකයා වහාම සමස්ත රාජ්‍ය සේවකයින්ගෙන්ම සමාව ගත යුතු බවට ප්‍රකාශ නැගෙනු ඇත. එපමණකින් නොනැවතී එය මහා වැඩ වර්ජනයක් කරා වුවද යා හැකියි. එසේ නම් මේ තත්ත්වය වෙනස් කිරීමට ගන්නා පියවර ගැන කවර කතාද?
මා හට රාජ්‍ය අංශයේත් අර්ධ රාජ්‍ය අංශයේත් පවුද්ගලික අංශයේත් සේවා අත්දැකීම ඇත. පවුද්ගලික අංශයේ කාර්යක්ෂමතාවයට ලන්වීමටවත් රාජ්‍ය අංශයට නොහැකිය. මගේ එකම අදහස නම් රජයේ සියලුම සේවාවන්ගේ කලමනාකාරිත්වය සහ පරිපාලනය පවුද්ගලීකරණය කල යුතු බවයි. ඒ සඳහා දේශපාලකයින් නොවන කශේරුකා සහිත රාජ්‍ය තාත්රිකයින් මව් බිමට අවශ්‍යව තිබේ
--- ඉන්දික අනුරාධ ගමගේ ----

No comments:

Post a Comment